අධ්‍යාපන අමාත්‍යංශයෙන් CIDයට පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් නිවාඩු මාසවලදී ගුරු වැටුප් නතර කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා බදුල්ලේ දී ප්‍රකාශයක් සිදු කළ බව පවසමින් වෙබ් අඩවි සහ ෆේස් බුක් සමාජ ජාලා කිහිපයක් ඔස්සේ පළ කර තිබූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය අද(16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුගත් ධර්මප්‍රිය,අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න සහ නීති නිලධාරිනී සුරංගි පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගත ලෙස මෙම ප්‍රවෘත්තිය ව්‍යාප්ත කිරීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ කිර්තිනාමයටත් දැඩි බලපෑමක් එල්ල වූ අතර විභාගයක් පවතින අවස්ථාවකදී ගුරුවරුන් සම්බන්ධව මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම හරහා සමාජය තුළ මහජන කැළඹීමක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වූ අතර අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිය නිර්මාණය කොට ව්‍යප්ත කිරීම සඳහා දායක වූ කණ්ඩායම් සහ සංවිධානයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල මගින් දන්වා ඇත.

පාසල් ප්‍රජාව සහ අමාත්‍යවරයා අතර සිත් බිඳවීම් සහ විශ්වාසය පලුඳු කිරීම මෙම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී ඇති අතර කුමන්ත්‍රණකරුවන් විසින් අදාල ප්‍රවෘත්තිය රිවිරෙන් උපුටා ගත් බව ප්‍රකාශ කරන නමුත් රිවිර නිළ වෙබ් අඩවියේ හෝ දැනට සති අන්ත ඉරිදා දිනයේ පමණක් නිකුත් කෙරෙන රිවිර පුවත්පතේ හෝ එවැනි ආකාරයේ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොවූ බව රිවිර කතෘ මණ්ඩලය විසින් ද සනාථ කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *