උ.පෙළ විභාග සමයේ දියත් කර ඇති බස් වර්ජනය පිළිබඳව ඇමති අකිල කියයි

(කොළඹ, ලංකාපුවත්) – දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන උ.පෙළ විභාගය පැවැත්වෙන කාලයේ ඇතැම් කණ්ඩායම් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් රජය සහ මහජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

උ.පෙළ විභාග සමයේ දියත් කර ඇති බස් වර්ජනය පිළිබඳව

දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් වන උ.පෙළ විභාගය පැවැත්වෙන කාලයේ ඇතැම් කණ්ඩායම් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් රජය සහ මහජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් සිටියි.

මෙම වැඩ වර්ජනයේ පිටුපස පවතින්නේ පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණු පමණක් බව නිරික්ෂණය වේ. එවැනි තත්ත්වයන් තුළ පුද්ගලික බස් රථ හිමියන් විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනයට සහාය නොදක්වමින් උ.පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන් පිළිබඳව සිතා ප්‍රවාහන සේවාවන් සැපයූ සියලු පෞද්ගලික බස් රථ හිමිකරුවන්, රියදුරු මහතුන් හා කොන්දොස්තර මහතුන්ට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කෘතවේදිත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

ඇතැම් කණ්ඩායම් රටේ නීතියට පවා අභියෝග කරමින් බලලෝභී දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරන පරාජිත දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට පත් වෙමින්, රටේ සාමාන්‍ය ජනතාවට හිරිහැර කරමින්, රජය ද අපහසුතාවයට පත් කරමින් සිටියි. මෙම තත්ත්වය තුළ රටේ ජනතාවට සැබෑ ලෙසම ආදරය කරන්නේ කවුද යන කරුණ ද පැහැදිලිය.

එබැවින්, මෙම ඊනියා වැඩ වර්ජනය සඳහා සහාය ලබා නොදෙමින් රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වෘත්තිය සමිතිවල සාධාරණ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ද රජය සූදානම් බව සඳහන් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 3 =