ජාතිවාදය-ආගම්වාදය යළි ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –නැවත රට තුළ ජාතිවාදය හා ආගම්වාදය ඇතිවීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අවාසනාවට මෙන් අපේ රටේ ඇතැම් අය දයාව, අනුකම්පාව නිසි අයුරින් තේරුම් නොගෙන ජාතිවාදය හා ආගම්වාදය ඇති කිරීමට උත්සාහ කරන බව පැවසූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එයට ඉඩ නොදෙන බව කීය.

ජාතික සංහිඳියාව සහ ආගමික සහජීවනය ඇති කිරීමට මෙම මස යෙදෙන මඩු මංගල්‍යය හා කතරගම පෙරහර හොඳ අවස්ථාවක් බව පෙන්වා දුන් අගමැතිවරයා දකුණේ ජනතාව මඩු මංගල්‍යයට උතුරට පැමිණෙන බවත් උතුරේ ජනතාව කතරගම දේවාල උත්සව සඳහා දකුණට පැමිණෙන බවත් මෙම උත්සව දෙකම සංහිඳියාවට හොඳ මාර්ගයක් සලසා ඇති බවත් පැවැසීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යයට ඊයේ (15) සහභාගි වෙමිනි. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක්වූ දෙවැනි රාජ්‍ය නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

මඩු දේවස්ථානයේ පරිපාලන කටයුතු සඳහා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් රුපියල් මිලියනයක මුදල් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රදානය කෙරිණි.

වාර්ෂික මඩු මංගල්‍යයේ ඊයේ (15) පැවැති දේව මෙහෙයෙන් අවසන් වූ අතර, ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පවත්වනු ලැබූහ.

මන්නාරම ‍රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමාණන් ඇතුළු තවත් පියතුමන්ලා රැසක් මඩුමංගල්‍යයේ අවසන් දේවමෙහෙය මෙහෙයවීමට සහභාගිවී සිටියහ. මෙම මුදල් ආධාරය සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදී තිබේ.

මඩු දේවස්ථානය පැවැති අවසන් දේවමෙහෙයෙන් පසුව මඩු මාතා පිළිරුව මඩු දේවස්ථානය වටා වීථි සංචාරය කළ අතර, මඩු මාතා පිළිරුව වීථි සංචාරය කරන අවස්ථාවේදී සියලු බැතිමතුන්ගේ බාරහාර මඩු මාතාවන්ට භාරකරනු ලැබීය.

මෙවර මඩු මංගල්‍යය වෙනුවෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මඩු පොලිසිය විසින් සපයා දී තිබුණි.

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර ලක්ෂ පහකට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වන්නට ඇතැයි මඩු දේවස්ථානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *