පොහොර බෙදාහැරීමේ දී වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය – කෘෂිකර්ම ඇමති

(කොළඹ, ලංකාපුවත්) –පොහොර බෙදා හැරීමේ දී සිදුවන දූෂණ හා වංචා නැති එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බවත්, වැඩිම දූෂණයක් සිදුවන්නේ අම්පාරේ දිස්ත්‍රික්කය තුළ බවත් රහස්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සහනාධාර වශයෙන් ගොවීන් වෙත පොහොර බෙදා දීමේ දී තවමත් අපේ රටේ විවිධ දූෂණ හා වංචා සිදුවෙනවා. මට මේ මෑතක දී මේ සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් ලැබුනා. එම වාර්තාව අනුව අපේ රටේ පොහොර සම්බන්ධයෙන් කිසිදු වංචාවක් වාර්තා නොවන එකම දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බව තහවුරු වී තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“ඒ වගේම අපේ රටේ පොහොර බෙදා හැරීමේ දී වැඩිම දූෂණ ප්‍රමානයක් සිදුවන දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ අම්පාර දිස්ත්‍රික්කයයි. ඒ නිසා මම තීරණය කළා අම්පාරටත් , යාපනයටත් ගොස් මේ සම්බන්ධව පසුබිම් කතාව මොකක්ද කියළා සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්න.”

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ අතුරුගිරිය ජන උදාන ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින්. කොළඹ දිස්ත්‍රික්කයේ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හමුවෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරුණි.

එම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි, හෙක්ටර් බෙත්මගේ හා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එම්. ඩබ්. වීරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා –

“අපේ රටේ සෑම දිස්ත්‍රික්කයකම කෘෂි නිලධාරින් විශාල පිරිසක් ඉන්නවා. මේ හැම දෙනාම අඩුම තරමින් තමන්ගේ ගෙවත්තවත් හොඳින් වගා කරගෙන රටට ආදර්ශයක් පෙන්වුවා නම් අද අපිට ගෙවතු 10,000ක් විතර හදාගන්න තිබුණා. ඒ නිසා මම මුලින්ම ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාම මේ සම්බන්ධව අවධානය යොමුකරන්න කියළා. මම කෘෂිකර්ම අමාත්‍යාංශය බාරගත්තට පස්සේ අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කළා. ඒක තමයි “අපි වවලයි – අපි කන්නේ” කියන වැඩසටහන.

මේ වැඩසටහන යටතේ ජාතික ව්‍යාපෘති දහඅටක් අපි කඩිනම් ක්‍රියාවලියක් යටතේ ක්‍රියාත්මක කරනවා. එම ව්‍යාපෘති මහජනතාව අතර ව්‍යාප්ත කරවීම, ඔවුන් දැනුම්වත් කිරීම ඔබගේ වගකීමක්. දශක දෙකකට පෙර අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයෙන්ලබා දුන්න දායකත්වය සියයට 27ක්. නමුත් 2017 වනවිට එය සියයට 7.7 දක්වා පහළ ගොස් තිබෙනවා. මීට සමගාමීව මම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ ධීවර අමාත්‍යාංශයෙන් සියයට 44 දක්වා ඉහළ නංවන්නට අපිට හැකි වුණා.

අපි වසර දහස් ගණනක් තිස්සේ ගොවිතැන් කරපු ජාතියක්. ඒ වුනාට අද අපිට අවශ්‍ය තල,මුං, කව්පි, ඉඩඉරිගු විතරක් නොවෙයි අපේ රටේ හොඳට වගා කරපු කුරක්කන් පවා පිටරටින් මෙරටට ආනයනය කරනවා. 2017 දී කුරක්කන් ආනයනය කරන්නට රු. මි. 247ක් අපි වැය කළා. තල ගෙන්වන්නට රු.මි. 27ක්, බඩඉරිගු ගෙන්වන්නට රු.මි. 12,500ක්, ලූනු ගෙන්වන්නට රු. මි. 6000කට වැඩි ප්‍රමාණයක් වැය කරනවා. ඉතින් කොතැනද වැරැද්ද වෙලා තියෙන්නේ කියන එක අපි සොයා බැලිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + five =