යන්ත‍්‍රානුසාරයෙන් ගංවතුර පාලනය කරන ව්‍යාපෘතියක් පළමුවරට

(කොළඹ, ලංකාපුවත්) –වෙන්නප්පුව, කොලොන්ජාඩිය ඇතුළු ඒ අවට ප‍්‍රදේශවල බරපතල ගැටළුවක් වන්නේ නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වීමයි. මෙම ගැටළුවට ස්ථිරසාර හා විද්‍යානුකූල විසදුමක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

යන්ත‍්‍රානුසාරයෙන් ජලය මුහුදට පොම්ප කිරීමේ විශේෂ පද්ධතියක් ස්ථාපිත කිරීම මේ යටතේ සිදු කෙරේ.

වෙන්නප්පුව, කඹුල්ගල ප‍්‍රදේශයේ ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලය කිරීම සඳහා කි‍්‍රයාත්මක වන්නේ කානු පද්ධතියකි. ඒ යටතේ ක‍්‍රමානුකූලව ගංවතුර වෙන්නප්පුව වැවට මුදා හැරීම සිදු කෙරේ.

ඊට සමාගාමීව කි‍්‍රයාත්මක වන කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය වෙනස්ම ආකාරයකි.

අගල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම මේ යටතේ සිදු කිරීමට අපේක්‍ෂිතයි. ලිං හතක් ඉදිකරමින් එම ළිංවලට එකවන ජලය මුහුදට පොම්ප කිරීමට සැලසුම් කර ඇත්තේ යන්ත‍්‍රානුසාරයෙනි. එවෙනුවෙන් වූ නල මාර්ගය රන්දියගම සිට මුහුද දක්වා කිලෝමීටර් දෙ හමාරක දුරක් පොලොව යටින් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මකව පළමු අවස්ථාව මෙයයි.

මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් පසුගියදා 16වනදා වාරිමාර්ග හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුවයි මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන්නේ. සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 65 කි. එමගින් නිරන්තරයෙන් ප‍්‍රවාහන පද්ධතිය අවහිර වීම වැලකෙන අතර, නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන පවුල් 300 ට පමණ සෙත සැලසේ.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී පැවසූයේ ආපදා කළමනාකරණය සඳහා අඩු වියදමින් වැඩි ප‍්‍රතිලාභ හිමිකර ගත හැකි ව්‍යාපෘති පවතින බවයි. ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක කරන්නේනම් ගංවතුර වැනි ආපදාවන් අවම කර ගත හැකි බවද ඔහු පැවැසීය. ඉදිරියේදී වැව්, පොකුණු, ජලාශ හා ගංගා ඉහළ සිට පහලට පෙළ ගස්වමින් ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම සමස්ථ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමෙන් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාවන බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *