හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාවදෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – අප රටේ හේන් වගාවට යළිත් වැඩිපුර අවස්ථාව දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කරයි.

අප රටේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමයක් වශයෙන් සැලකෙන හේන් ගොවිතැන මේ වනවිට අප රටින් සම්පූර්ණයෙන්ම අභාවයට යමින් තිබේ. නමුත් අප රටේ මුං, කව්පි, බඩඉරිඟු, කුරක්කන්, තල, මෙනේරි හා අබ වැනි කටුසර බෝග වගාව සඳහා මහත් පිටුබලයක් වුයේ හේන් ගොවිතැනයි.

හේන් ගොවිතැන හේතුවෙන් මෙරට වනගහනය තුරන් වනබව ප්‍රකාශ කළත්,හේනක් ලෙස යොදාගන්නේ බොහෝවිට මහාවනාන්තරය එළිපෙහෙළි කිරීමෙන් නොව කනතු බවට පත්වු සාමාන්‍ය ළඳුකැලය බව දිස්ත්‍රික් ලේකම්වරු පැහැදිලිකළේය.

ඊයේ (16) සංවර්ධන පරිපාලන ආයතනයේදී දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා දිසාපතිවරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී කෘෂිකර්මාන්තයේ ඉදිරිවැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කළහ.

2017 වර්ෂයේදී මෙරටට රට කජු ආනයනය සඳහා රු.මි. 689ක්ද, කජු ආනයනය සඳහා රු.මි. 750ක්ද, තල ආනයනය සඳහා රු.මි. 27ක්ද, කුරක්කන් ආනයනය සඳහා රු.මි. 243ක්ද, බඩඉරිඟු සඳහා රු.මි. 6627ක්ද, මීට අමතරව අප රටට අවශ්‍ය අබ මුළුමනින්ම පිටරටින් ආනයනය කරමින් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අපරටට අවශ්‍ය මෙවැනි ධාන්‍යමින් පෙර වගා කළේහේන් ගොවිතැන ආශ්‍රිතව බැවින් එවැනි කටුසර බෝග වගාවට ගොවීන් පෙළඹීමට නම් හේන් ගොවිතැන සඳහා නැවතත් අවස්ථාව වැඩි කළයුතු බව මෙහිදී දිසාපතිවරු පෙන්වා දුන්හ.

විශේෂයෙන් හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මුලතිව් කිළිනොච්චි, මොනරාගල වැනි දිස්ත්‍රික්කවල හේන් වගාවට ඉතා යෝග්‍යවේ.හේන් ගොවිතැන නොකෙරෙන නිසා එම ගොවීන්ද මහත් අසීරුතාවකට පත්වසිටී.

මේ නිසා යළිත් හේන් වගාවට අවස්ථාව ලබා දීමට රජය කටයුතු කිරීම සුදුසුයැයිද දිස්ත්‍රික් ලේකම්වරු අවධාරණය කළහ.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡාකර පියවර ගන්නා බවත්, හේන්ගොවිතැනෙහි යෙදෙන ගොවීන් හඳුනාගෙන ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීමේ පදනමක් සහිතව හේන් ගොවිතැන සඳහා වැඩිපුර අවස්ථා ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *