අගමැති, ඉම්රාන් ඛාන්ට දුරකථකයෙන් අමතයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 19 වන දා රාත්‍රියේ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග දුරකථන සාකච්ඡාවක් පවත්වමින්, එතුමන්ට ශ්‍රී ලංකාවාසී ජනතාව සහ රජය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

කලාපීය හොඳහිත සහ සාමය ආරක්‍ෂා කරගනිමින්, පකිස්තානය පෙරට ගෙන ඒමට ශක්තිය හා අවකාශය ලැබේවා යැයි ද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරලීම උදෙසාත්, කලාපීය සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රගතිය උදෙසාත් ක්‍රියා කිරීම තම අපේක්‍ෂාව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ඛාන් මහතා තමන් වෙත සුබ පැතුම් පිරිනැමීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට සිය කෘතඥතාව පළ කර සිටියේ ය.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේ ය.

මේ අතර ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නිල සුබ පැතුම් පණිවිඩයක් ද නිකුත් කර ඇත.

එහි මෙසේ ද සඳහන් ය.

“ශ්‍රී ලංකාව සහ පකිස්තානය යනු අන්‍යෝන්‍ය ගෞරවය සහ පොදු අභිමතාර්ථ පදනම් කොටගෙන අනර්ඝ ද්වීපාර්ශ්වීය සබඳතා පවත්වාගෙන යන රටවල් දෙකකි. මෙම ශක්තිමත් ආරම්භය හේතුකොට ගෙන දෙරට අතර සබඳතා තවදුරටත් තහවුරු වනු ඇත.

දෙරටේම යහපත උදෙසා වන මෙම සබැඳියාව ඔබතුමාගේ නායකත්වය යටතේ බහු පාර්ශ්වීය සහයෝගීතාවක් දක්වා තවත් ශක්තිමත් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

ගරු අගමැතිතුමනි, ඔබතුමා බලයට පත් වීම සම්බන්ධයෙන් මාගේ සුභාශිංසන ගෙන එන අතරම ඔබතුමාගේ ධුර කාලය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ ආයුරාරෝග්‍ය සම්පත ප්‍රාර්ථනා කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *