ආණමඩුවේ පවුල් 7000කට නිවාස – උදාගම්මාන 144 ක්

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම, ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ උදා ගම්මාන 144 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අලූත්ගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තබමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඊයේ (19) එම උත්සවය පැවැත්වුනේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

මීට සමගාමිව සිරම්බිඅඩිය හා රඹාවැව යන ගම්මානවල ඉදිකිරීම්ද ආරම්භ කෙරිණ.

සිරම්බිඅඩිය ගම්මානයේ ඉදිකිරීමට යෝජිත නිවාස ගණන 58 කි. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 290 කි. කරුවලගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රඹාවැව හා අලූත්ගම යන උදාගම්මානවල නිවාස 80 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එම ගම්මානවල නිවාස ඉදිකිරීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 390 කි.

අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුයේ මේ වන විට ආණමඩුවේ පමණක් උදා ගම්මාන 25 ක් ඉදිකර ඇති බවයි. ඒ යටතේ පවුල් 1000 ට පමණ ස්ථිර නිවසක හා ඉඩමක අයිතිය ලබා දීමට හැකි වී ඇති බවත්, 2019 වසර අවසන් වන විට උදා ගම්මාන 144 ක වැඩ අවසන් කිරීම අපේක්‍ෂාව බවත් පැවසීය. එම ව්‍යාපෘති නිම වීමෙන් පසුව නිවාස හා ඉඩම් නොමැති පවුල් 7000 ට පමණ එම අයිතිය ලබා දීමට හැකි වන බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

“නිවාස ඉඩම් අයිතිය දුප්පත් ජනතාවට නොලැබුණු යුුගයක් තිබුණා. ඒ කාලේ ඒවා ලැබුණෙ එවකට නිවාස ඇමැතිගේ හිතවතුන්ට පමණයි. ඒ යුගය අපි වෙනස් කළා. අද යහපාලනය යටතේ ජනතාවට ප‍්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

යහපාලන රජය යටතේ දැවැන්ත සංවර්ධනයක් සිදු වෙමින් තිබෙනවා. බොහෝ දේ මේ වන විට සිදු කර තිබෙනවා. වසර 50 න් කරන්න බැරිවුණු සෙංගල්ඔය වැනි වාරි ව්‍යාපෘති අපේ රජය යටතේ ආරම්භ කළා. වැඩ කළත් අපේ සංදර්ශන නෑ. ඒ නිසා මේවා මිනිස්සුන්ට දැනෙනව අඩුයි. ඒත් අනාගත පරපුර කවදා හෝ මේ දේවල් නිසි ලෙස දකීවී. එදාට අපි කළ කාර්යන්වලට නිසි වටිනාකමක් ලැබේවි.

පසුගිය ඡුන්දෙදි පොහොට්ටුවට කතිරය ගැසූ බොහෝ අය දුක් වෙනවා. මේ තරම් සංවර්ධනයක් කරද්දි නිදහස ලබා දෙමින් තියෙද්දි පොහාට්ටුවට කතිරය ගැසීම ගැන ඒ අය දුක් වෙනවා. ඒත් අපි කියනවා දුක් වෙන්න එපා. තව කාලේ තියෙනවා වැඩ කරන්න. එන්න අප හා නැවත එක්වෙන්න කියල ඒ ජනතාවට ආරාධනා කරනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =