මත්පෙති-ගංජා තබාගෙන සිටි 28ක් ගල්කිස්සේ දී මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ගල්කිස්ස පොලිස් වසමේ හෝටල් පාරේ සිදු කළ මෙහෙයුමකින් ගංජා හා මත්පෙති සන්තකයේ තබා ගත් සැකකරුවන් 27දෙනෙකු හා එක් සැකකාරියක් ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(19) දහවල් 12.00 සිට මෙම මෙහෙයුම දියත් කර තිබේ.

අදාළ සැකකරුවන් ගල්කිස්ස පොලිස් වසමේ හෝටල් පාරේ, මුහුදු තීරයේ පිහිටි හෝටලයක ඊයේ දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා සංවිධාන කර තිබූ ඩී. ජේ. සාදයකට සහභාගී වීම සදහා මෙම පිරිස පැමිණ ඇති බව පොලිසිය සදහන් කරනු ලැබේ.

මෙම සාදය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ලද තොරතුරු මත එම සාදය පැවැත්වෙන ප්‍රදේශය ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා සිදුකළ පරික්‍ෂා කිරීම්වලදී හා සිවිල් නිලධාරීන් යොදා සිදුකළ වැටලීම්වලදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 45ත් අතර වයස්වල පසුවන්නන් වේ.

ඔවුන් කළුතර, මාතර, රාගම, හෝමාගම, පෑලියගොඩ, බුත්තල, ගල්කිස්ස, රත්මලාන, පයාගල, පුත්තලම, මාවනැල්ල, නුගේගොඩ, බොරලැස්ගමුව‍, දෙමටගොඩ, මරදාන, වැල්ලවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

මොවුන්ගෙන් 12දෙනෙකු විවිධ වර්ගයේ මත්පෙති ලඟ තබා ගැනීමේ වරදටත් 12දෙනෙකු ගංජා ලඟ තබා ගැනීමේ වරදටත්, තිදෙනෙකු නීතිවිරෝධී දුම්වැටි ලඟ තබා ගැනීමේ වරදටත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද(20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *