විදෙස්ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ ලේඛන සහතික කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට සිදුකිරීමේ අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ දී කරගැනීමට හැකිවන ”ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය” වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

පසුගිය 16 දා කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති දිසාපති සමුළුව අතරතුර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ඒස්.ටී.කොඩිකාර මහතා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපිට දී මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ”ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය” වැඩසටහන දීප ව්‍යාප්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332හි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය මඟින් සම්බන්ධ කිරීමෙන් මහජනතාවට කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සත්‍යාපන අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සැලසෙනු ඇත. මෙම අවශ්‍යතා ඉටුකර ගැනීමට දැනට යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත යන උතුරු පළාතේ මහජනතාවටද එම කාර්යාලයට නොයා තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සත්‍යාපනය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙම නියමු ව්‍යාපෘතිය සඳහා කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය හරහා රුපියල් ලක්ෂ 68ක් වටිනා උපකරණ ප්‍රදානය කොට තිබේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය අමතා කතා කළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපකරණ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කැනේඩියානු රජයට සිය ස්තූතිය පළ කළ අතර සෑම දිස්ත්‍රික්කයකටම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදෙන ලෙස සියලු දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් ක්‍රියාත්මක වීමෙන් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ප්‍රේෂණය කරන සංක්‍රමණික සේවක ප්‍රජාවට ඵලදායී සේවයක් ඉටුවනු ඇතැයි උත්සවය ඇමතූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය.

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් මාසයේ සිට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 19හි සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *