ආසියානු ක්‍රීඩා උළෙල -තෙවන දිනය: ශ්‍රී ලංකාවට තවමත් පදක්කම් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ ඊයේ (21) පැවැති කිලෝ ග්‍රෑම් 62 බර පංතියේ පිරිමි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තිලංක කුමාර, උත්සාහයන් තුනම අසාර්ථක වීම නිසා එම බර පංතියේ අවසන් ස්ථානයට පත් විය.

එහිදී ඔහු කිලෝ ග්‍රෑම් 122 ක බරක් එසවීම සඳහා උත්සාහයන් දෙක මෙන්ම කිලෝ ග්‍රෑම් 125 ක බරක් එසවීම සඳහා ගත් උත්සාහයද අසාර්ථක විය. ඒ අනුව එම තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් 14 දෙනා අතරින් අවසන් ස්ථානයට පත්වීමට තිලංකට සිදුවිය.

ඉන්දුනීසියාවේ ඉරවාන් යූලි එම බර පංතියේ රන් පදක්කම දිනාගත් අතර එහි රිදී පදක්කම වියට්නාමයේ ටි්‍රන් වැන් වින් විසින්ද, ලෝකඩ පදක්කම උස්බැකිස්තානයේ ඉර්ගසෙව් අඞ්ඛාම්ජොන් විසින්ද හිමිකරගනු ලැබූහ.

පිහිණුම්

18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයේ තරගවලට සහභාගි වූ මැතිව් අබේසිංහට සහ ඔහුගේ සොහොයුරු කයිල් අබේසිංහට එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ.

මූලික වටයේ හයවැනි තරගයට සහභාගි වූ මැතිව්, තත්පර 22.88 ක කාලයක් වාර්තා කරමින් පස්වැනියා ලෙස එම තරගය නිමා කළේය. එම ඉසව්වේ හත්වැනි මූලික වටයේ තරගයට සහභාගි වූ කයිල් අබේසිංහ එහි අවසන් ස්ථානයට පත්වූයේ තත්පර 23.36 ක කාලයක් වාර්තා කරමිනි.

මූලික වටයේ තරගවලට සහභාගි වූ ක්‍රීඩකයන් 51 දෙනාගේ තරග නිමි කාලයන්ට අනුව මැතිව් 12 වැනි ස්ථානයේද, කයිල් 20 වැනි ස්ථානයේද රැදී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =