ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ විශේෂ සුනාමි පෙරහුරුවක්

(කොළඹ, ලංකාපුවත්) –ආපදා අවදානම හමුවේ ඊට මුහුණ දීමේ අවස්ථාවන්ද ප‍්‍රවර්ධනය කළ යුතු බවත්, ඒ කෙරෙහි රජය මූලික අවදානයක් යොමු කර ඇති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සමස්ථ රාජ්‍ය යාන්ත‍්‍රණය ඊට සූදානම් කිරීම හා සමානව ජනතාවද සූදානම් කිරීම සඳහා වූ පුළුල් වැඩපිළිවෙලක් සම්පාදනය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය කාලය හා සැසදීමේදී ශී‍්‍ර ලංකාවට ඇති ආපදා අවදානම ඉහළ ගොස් ඇති බවත්, ආපදා අවදානම අනුව 98 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකාව මේ වන විට එම අනුපිළිවෙලේ 04 වන ස්ථානයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය. එබැවින් ආපදාවන්ට දැඩිව නතුවන රටක් ලෙස ශී‍්‍ර ලංකාව හැදින්විය හැකියි.

මෙරට තුළ ඇතිවන බලපෑම් මෙන්ම ඊටත් වඩා පිටත රාජ්‍යවල හා අවට මුහුදේ සිදුවිය හැකි භූ කම්පනවල බලපෑම තදින් එල්ල විය හැකි රටක් ලෙස ශී‍්‍ර ලංකාව හදුනාගෙන ඇති බවත්, එබැවින් භූ කම්පන හා ඒ මතින් ඇතිවන සුනාමි අවදානම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

පසුගිය සති දෙක තුළද ඉන්දුනීසියාව හා ඊට සමීප ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රබල භූ කම්පන ඇති වූ බවත්, එවැනි තත්ත්වයකදී ඇති විය හැකි සුනාමි බලපෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට විශේෂ යාන්ත‍්‍රණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටී. මෙවැනි අවස්ථාවක කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම මූලික කාරණයයි. ඒ පිළිබඳ නිරන්තරයෙන් ප‍්‍රායෝගික සිද්ධාන්ත සහිතව පෙරහුරු පැවැත්වීමට නියමිත බවත්, එහි පළමු අදියර සැප්තැම්බර් 05 දා සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මුහුදු ප‍්‍රදේශ ආවරණ වන පරිදි සුනාමි සංඥා කුළුණු 28 ක් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර විශේෂඥයින්ගේද අධීක්‍ෂණය මත එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

මෙවැනි අවස්ථාවක කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ වෙත විශේෂ පුහුණු සැසි පැවැත්වීමටද පියවර ගන්නා බව ඔහු පැවසීය.

අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සමග ඊයේ(21) පැවති සාකච්ඡාවකින් අනතුරුව ප‍්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *