දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ ප්‍රතිපත්තියට අනුව දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දුම්වැටිවල බදු ප්‍රතිශතය සියයට 90 දක්වා ඉහළ නැංවීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරිම, පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් පසුගිය වසර 03 තුළ ගෙන ඇත.

ඒ අනුව එම වැඩපිළිවෙලට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාව දැනුවක් කිරීමේ වැඩපිළිවෙලක් දීප ව්‍යාප්තව දියත් කරන ලදි. එහිදී නගර රැසක දුම්වැටි අලෙවි නොකිරීමට වෙළෙද ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත. යාපනය දිස්ත්‍රික්කයේ නගර 22 ක්, මාතර දිස්ත්‍රික්කයේ නගර 17 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 16 ක් ඇතුලු සමස්ත දිවයින පුරාම නගර 107 ක දුම්වැටි අලෙවි කිරිම මේ වන විට තහනම් කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන්නේ දුම්වැටි භාවිතය අවම කිරිම සදහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දක්වන ලද සහයෝගය අගය කරන බවයි. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ භාවිතය අවම කළ යුතු වෙයි. 2019 වසර වන විට දුම්වැටි අලෙවි නොකරන නගර සංඛ්‍යාව 200 ඉක්මවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *