අමරදේවයන් ගැන මැති සබයේ දී සිහිපත් කළ ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්.ඩී අමරදේව මහතා මේ රටේ කලාකරුවෙක්,ලෙස පමණක් නොව උගතෙක්,පඬිවරයෙක් ලෙස මානවවාදී ශ්‍රේෂ්ඨ ගුණාංගවලින් හෙබි චරිතයක් පෙන්වූ මහා යුග පුරුෂයෙක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී අඳහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්, පඬිවරයෙක් වගේම ශ්‍රී ලාංකීය ජාතියේම ගෞරවයට පාත්‍රවු විශාරද ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිපත් කරමින් එතුමා වෙනුවෙන් ඉදිවන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබඳව පනත මේ අවස්ථාවේ සභාවේ සාකච්ඡාවට ලක්වන අවස්ථාව. ඒ සඳහා මඟේ ආශිර්වාදය ලබාදෙනවා. ඩබ්ලිව්.ඩී අමරදේව මහතා මේ රටේ කලාකරුවෙක්, ලෙස පමණක් නොව උගතෙක්, පඬිවරයෙක් ලෙස මානවවාදී ශ්‍රේෂ්ඨ ගුණාංගවලින් හෙබි චරිතයක් පෙන්වූ මහා යුග පුරුෂයෙක්. විශාරද ඩබ්ලිව්.ඩී අමරදේව මහතා ගැන කතාකරන විට එතුමා අපේ රට තුළත් අන්තර්ජාතික වශයෙනුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්නුම් කිරීමේ දී ඔහු විසින් කරන ලද මහා යුග මෙහෙවර සම්බන්ධයෙන් අපි එදත් අදත් හෙටත් ජාතියේ ප්‍රණාමය පිරිනැමිය යුතු වෙනවා.

අමරදේවයන් ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික වශයෙන් ලැබූ කීර්තිය, ජාතික වශයෙන් තිබු පිළිගැනීම, කලා ලෝකයේ, සංගීත ක්ෂේත්‍රයේ දායකත්වය දෙන, අනුග්‍රහය දෙන සියලු දෙනාගෙන් පමණක් සීමා නොවූ මුළු මහත් ජාතියේම ගෞරවයට ඔහු පාත්‍ර වූයේ මේ රටේ සිටින සියලුම කලාකරුවන්ට සංගීත ක්ෂේත්‍රයේ සැමට ආදර්ශයක් ලබාදෙමින්. ඔහු අපේ රටේ වගේම ලැබූ ජාත්‍යන්තර වශයෙන් ලැබුණු සම්මාන අතර පිලිපීන රජයෙන් සම්මාන ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජයෙන් කලාකීර්ති සම්මානය ලැබුණා. ඉන්දියානුු රජයෙන් පද්ම ශ්‍රී සම්මාන ලැබුණා. එවැනි සම්මාන ලැබීම ඔහු ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් නොව මුළු මහත් ජාතියටම ලැබුණු සම්මාන ලෙස සැළකිය යුතු වෙනවා.

ඒ නිසා එවැනි යුග පුරුෂයෙක් ගැන අදටත් කතා කරන්න ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. අමරදේවයන් තුළ ප්‍රධාන වශයෙන් තිබූ ගායන දක්ෂතාවය, වාදන දක්ෂතාව, භාෂාවේ පාණ්ඩිත්වය විශිෂ්ඨ යුග මෙහෙවරක් කරන්න වඩාත් ශක්තිමත් අත්වැලක් බවට පත්වුණා. ඒ වගේම තමයි එතුමා ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම සඳහා 1950 වසරේ භාත්කණ්ඩයේ සංගීත විශ්ව විද්‍යාලයට ඇතුළත්වීම තුළ ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ එවකට සිටි යුග පුරුෂයන් වගේම ඉන් පසුව බිහිවු ප්‍රවීනයන් සමඟ මනා සබඳතා තිබුණා. ඒ සබඳතාව අපේ රට ඉන්දීය සමාජය, සංස්කෘතික වශයෙන් විවිධෂ ක්ෂේත්‍ර හරහා ගලාඑන දක්ෂතා, හැකියාවන්, කුසලතාවන් සහ එහි තිබූ ගුණාංග පිළිබඳව අපිට සතුටු වියහැකි සෑම අංශයක්ම පෙන්නුම් කළා. මේ පිහිටුවන අමරදේව සෞන්දර්යය හා පර්යේෂණ කේන්ද්‍රය පිහිටුවීමට තීරණය කළේ අමරදේව දර්ශනය නොමැරී මේ රටේ ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාවෙන්.

අමරදේවයන්ට කරන ගෞරවයක් වගේම අද සිටින නව පරපුරටත් හෙට උපදින දරුවන්ටත් මේ රටේ සංගීත ක්ෂේත්‍රය ඇතුළු දේශීයත්වය අගය කරන, සංස්කෘතිය අගය කරන සැමට අමරදේවගේ දර්ශනය ඉදිරියට ගෙනයාම ඉතාම වැදගත්. අමරදේවයන් අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ මේ රටේ කීර්තිමත් ලේඛකයෙක් වූ ඩබ්ලිව්.ඒ අබේසිංහ මහතා පුවත්පතකට ලිපියක් ලියා තිබෙනවා. ශ්‍රී ලංකාව නිදහස ලැබූ මුල් කාලය දෙස බලන විට ඔහුගේ කඳුළින් තෙත්වූ සුමඳුර හඩ මුළුමහත් සිරිලක් දෙරණ තුළ ගුවන් තලය තුළ නැගී අවේය. අපේ විද්වතුන් එතුමා ගැන ලියන්නට ඉදිරිපත් වයූයේ එතුම තුළ තිබූ විශිෂ්ට දර්ශනය නිසයි. මේ කාලය වනවිට ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල් අවධියේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන් සහිත සංගීත විධිය නම් කවරක් ද යන ගැටළුව සමාජීය ප්‍රාඥයන් , කලාකරුවන් සහ මහජනතාවත් අතර විමසීමට බඳුන් දුන් තත්ත්වයක් විය.

ඒ නිසා අපිට ඩබ්ලිව්.ඩී අමරදේව මහතා පිළිබඳව ඉදිකරන මේ කේන්ද්‍රස්ථානය එතුමාගේ දර්ශනය ඉදිරියට ගෙනයාමට වගේම එතුමා සිටි කාලයේ දී භාවිතා කළ, සීමා වූ සංගීත භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම වගේම මේ රටේ අද දවසේ සහ හෙට දවසට එක්වන කලාකරුවන්ට සැමට හා මේ ක්සේත්‍රයට සම්බන්ධ වන සෑම අයෙකුටම මෙය වැදගත් මධ්‍යස්ථානයක් වෙනවා. මා දන්නා පරිදි අපේ රටේ විශිෂ්ඨ කලාකරුවෙකුට ගෞරව කිරීම සඳහා ඔහුගේ නම ඉදිරියට ගෙනයාම සඳහා දර්ශනය ප්‍රචලිත කිරීම සඳහා ඊට පෙර සිටි කලාකරුවන් ඒ සියලු දෙනාම සිහිගැන්විය යුතුයි වගේම මෙවැනි මධ්‍යස්ථානයක් මෙවැනි ක්ෂේත්‍රයක ප්‍රවීනයෙකුට අපි දන්නා තරමින් ඉදිකර නැහැ. ඒ නිසා අතීතයේ ඔහුට සම්බන්ධව සිටි මහගමසේකරයන් වගේ ඔහුගේ සමකාලීනයන් වගේම ඒ මහතා සමඟ එක්වූ සෑම අයෙක්ම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඔහුගේ දර්ශනය, දැක්ම ඉදිරියට ගෙනයාම සඳහා මේ ඉදිකරන කේන්ද්‍රය අමරදේවයන්ගේ දර්ශනය ලොවට හඩනඟා කියන්න විශිෂ්ට මෙහෙයක් ඉටුකරයි. අමරදේවයන් තුළ තිබූ ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත ගත්විට අපි දන්නවා ඔබගෙන් වෙන්වී මම යන්නම් ගීතය.

අමරදේවයන්ගේ අභාවය සිදුවූ අවස්ථාවේ සහ අවසන් කටයුතු සිදුවූ අවස්ථාවේ ඒ ගීතය එදා ටොරින්ටන් චතුරශ්‍රයේ ගායනා කළා. ඔබගෙන් වෙන්වී මම යන්නම් කියා අමරදේවයන් කියා සිටියත් අමරදේවයන්ගෙන් වෙන්වන්නට අද දවසේ මෙන්ම හෙට දවසේ අපේ මුළු මහත් ජාතියට පුළුවන්කමක් නැහැ. අද දවසේ මෙන්ම හෙට දවසේ උපදින දරුවන් ද අමරදේවයන්ගෙන් වෙන් නොවී අනාගත මේ ක්ෂේත්‍රයන් පිළිබඳව මුළු මහත් සමාජයටම විශිෂ්ඨ මෙහෙයක් කළ ප්‍රාඥයෙක් ගේ දර්ශනය ඉදිරියට ගෙනයයි කියා විශ්වාස කරනවා. ඒ නිසා මීට සම්බන්ධ සියල්ල සිහිපත් කරනවා. අද දවසේ මේ කාර්යය පිළිබඳ කතා කිරීමේ දී අමරදේවයන්ගේ බිරිද සහ දරුවන් සිහිපත් කරනවා. මෙවැනි වැදගත් කාර්යයක් ඉටුකිරීම සම්බන්ධයෙන් රජයට ස්තුතිය පිරිනමනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *