දියුණු තාක්‍ෂණය යොදාගනිමින් මහා පරිමාණ ජලජීවි ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – දැනට සැලසුම් කර ඇති පරිදි ජලජීවි වගාව මහ පරිමාණ ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීම මඟින් උපයන විදේශ විනිමයෙන් පමණක් ලංකාවේ අයවැය පරතරය නැති කළ හැකි බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආයෝජකයින් කොතෙකුත් ඉදිරිපත් වුවත් මේ සදහා ඇති එකම බාධාව ජලජිවි වගාව වෙනුවෙන් ඉඩම් ලබාගැනීම බවය.

සියයට සියයක් පරිසර හිතකාමී ලෙස ලෝකයේ දියුණුම තාක්‍ෂණය යොදාගනිමින් ජලජීවි වගාව මහා පරිමාන ධන උත්පාදන ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදු කිරීම සැලසුම බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය .

දැනටමත් විදේශ ආයෝජකයින් රැසක් ජලජීවි වගාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටිති . ජලජිවි වගාව සදහා වඩාත් සුදුසු ඉඩම් රැසක් මේ වන විටත් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සිදු කල අධ්‍යන මගින් හදුනාගෙන ඇති අතර එම ඉඩම් නිදහස් කරගැනීම පිලිබදව ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේදී පැවති සාකච්ජාවකදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය.

මෙම ජලජීවි වගාවන් ආරම්භ කිරීමත් සමග විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වේ . ඒමෙන්ම ග්‍රාමීය ජනතාව අතට විශාල මුදලක් හිමිවන වැඩපිළිවෙලක් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. ඊට අමතරව එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සදහා ද වැඩපිළිවෙලක් සකස්කර තිබේ. මේ සියලු පියවර මගින් සෑම ජලජීවි වගා ව්‍යාපෘතියක් ආශ්‍රිතවම වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වේ.

යෝජිත සියළුම මහා පරිමාන ජලජීවි වගා මගින් ලබාගන්නා අස්වැන්න අපනයනය කිරීම සැලසුමය . මේ සදහා විදේශ ආයෝජකයින් ඉදිරිපත් ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ජලජීවි නිෂ්පාදන සදහා ලෝකයේ විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙනි .
මෙම සාකච්ජාවට ඉඩම් අමාත්‍යංශය , ප්‍රාදේශීය ලේකම් , උතුරු පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න , අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *