අගමැති හෙට වියට්නාම් යයි

(කොළඹ, ලංකාපුවත්) –වියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27-28 දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 25 වන දා වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.

මෙවර සමුළුවේ තේමාව “කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” (Building Regional Architectures) වන අතර, මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ මුලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින්, ආරක්ෂාව, වෙළඳ සහ වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වනු ඇත.

අගෝස්තු 27 වන දා සමුළුවේ සමාරම්භක සැසියේදී වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීමට නියමිත ය.

සිංගප්පූරුව, බංගලාදේශය, ශ්‍රී ලංකාව එක්ව ආරම්භ කරන ලද මෙම වාර්ෂික සමුළුව සඳහා කලාපයේ රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, නිලධාරීන් සහ විවිධ වෘත්තිකයන් සහභාගි වන අතර, මෙවර සත්කාරකත්වය දරනුයේ වියට්නාමය යි.

තරුණ කටයුතු, ව්‍යාපාර කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත්වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *