ජාතික යොවුන් සේනාංක කොටපොල නව පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –පුහුණු මධ්‍යස්ථාන 48කින් යුක්ත වන ජාතික යොවුන් සේනාංකය, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන ජාලයට එක්වන නව මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම පසුගියදා (21) මාතර, කොටපොල, දෙනියායේ දී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

‘එවකට මෙන් ම, වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2002 වසරේදී මොරවක ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදහස් කර තිබූ යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අද කොටපොල දී ආරම්භ කිරීම පිළිබඳ සතුටු වන බවත්, ඒ හරහා පාසල් අධ්‍යාපනය හමාර කරන යෞවන යෞවනියන් රැසකට තමන් සතු වෘත්තීය නිපුණතාවයන්ගෙන් අනාගතය ජය ගත හැකි බවත්,’ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පවරා ගැනීම් ආදී කාර්යයන් අවසන් වීමටත් පෙර තලවකැලේ වතු සමාගම විසින්ම ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා භාර දීම පිළිබඳව සිය විශේෂ ස්තුතිය පිරිනමන බව ද සඳහන් කරන ලදී.

උසස් අධ්‍යාපන වරම් නොලබන ශ්‍රී ලංකාවේ තරුණ පරපුරෙහි මෘදු කුසලතා සහ පෞරුෂ සංවර්ධනය ඔප් නැංවීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා අදියර දෙකකින් යුක්තව වාර්ෂිකව යෞවන යෞවනියන් 12,000ක් පමණ එක් වෙයි. එම පාඨමාලාව තවදුරටත් ව්‍යාප්ත කරමින් දකුණු පළාතෙහි මාතර දිස්ත්‍රික්කය සඳහා නව පුහුණු මධ්‍යස්ථානයක් එක් කිරීම සිදු වූ අතර, අක්කර 03ක පමණ ඉඩ ප්‍රමාණයක් ආවරණය කෙරෙමින් ඉදි වීමට නියමිත මෙම මධ්‍යස්ථානයෙ හි පුහුණුලාභීන් 200කට පමණ නේවාසිකව තම පුහුණුව ලබා ගත හැකි අතර, මෙම භූමියෙහි බැහැරගත පුහුණු මධ්‍යස්ථානයක් හා හෝටල් පුහුණු පාසලක් ද ස්ථාපිත වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්, කොටපොල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉඳුනිල් ද සිල්වා, ජාතික යොවුන් සේනාංකයේ දකුණු පළාත් අධ්‍යක්ෂ එච්.යූ.එස් ගොඩගේ, ජාතික යොවුන් සේනාංක පළාත් අධ්‍යක්ෂවරුන්, නිලධාරීන්, යොවුන් සේනාංක පුහුණුලාභී යෞවන යෞවනියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + 14 =