ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – සිව්වන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය සඳහා සියල්ල සූදානම් බව ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය සදහන් කරනු ලැබේ.

ඔවුන් විසින් පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

අගෝස්තු මස 27 සහ 28 යන දිනවල කොළඹ දී පැවැත්වෙන සිව්වන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සත්කාරකත්වය දැරීම ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය (Asian Network for Free Elections -ANFREL) විසින් සිදු කරනු ලැබේ.

ලත් සුවිශේෂී ගෞරවයකි. මෙවර සම්මේලනයේ තේමාව වන්නේ ‘ප‍්‍රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ: ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප‍්‍රයත්නයක්: යන්නයි. මෙම සම්මේලනය කොළඹ දී මුළුදෙනු ලබන්නේ දකුණු ආසියාවේ එවැන්නක් පැවැත්වෙන පළමු අවස්ථාව ලෙසය.

ආසියාකරයේ මැතිවරණ කොමිෂන් සභා, මැතිවරණ නිරීක්ෂකයන්, රාජ්‍ය නොවන සංවිධාන සහ මැතිවරණ ක‍්‍රියාවලිය කෙරෙහි ආශක්ත අනෙකුත් පාර්ශව වෙත, එකට එක්ව තම කලාපයේ මැතිවරණ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පුළුල් සංවාදයක් පැවැත්වීම සඳහා මෙකී සම්මේලනය කදිම වේදිකාවක් නිර්මාණය කොට ඇත. මැතිවරණ හා සබැඳි කලාපයේ වඩාත් පුළුල්තම එකතුවක් ලෙසින් සැලකිය හැකි මෙම සම්මේලනය, සිවිල් සමාජය හා මැතිවරණ කොමිෂන් සභා අතර පවත්නා ප‍්‍රබල සහයෝගීතාව ඔස්සේ වඩාත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව ක‍්‍රියාවට නැගෙන්නකි.

ආසියාවේ දැනට පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වරූපය, කලාපයේ පොදු මැතිවරණ හා සබැඳි අභියෝග හා මැතිවරණ ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි විවිධ යහපත් පරිචයන් වැනි තීරණාත්මක සාධක මෙම සම්මේලනයේ් දී වඩාත් පු`ඵල් ව සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.

කලාපය තුළ මැතිවරණ පැවැත්වීමේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවර්ධනය හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ආසියාව තුළ හා ඉන් ඔබ්බෙහි ද ක‍්‍රියාකාරී පාර්ශ්වකරුවන්ට බලපෑම් ඇති කළ හැකි අන්දමේ පොදු එක`ගතාවලින් සමන්විත සම්මුතියක් සම්මත කර ගැනීමෙන් අනතුරුව මෙම සම්මේලනය නිමාවට පත්වනු ඇත. ආසියානු කලාපය තුළ යම් අභියෝගයකට ලක්ව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමෙහිලා මැතිවරණ පාර්ශ්වකරුවන් අතර අවශ්‍යයෙන්ම පැවතිය යුතු සහයෝගීතාව හා අදාළ ක‍්‍රියාකාරකම් වඩාත් විධිමත් කිරීමට යෝජිත සම්මේලනයට හැකියාවක් ලැබෙනු ඇතැයි යන්න ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ විශ්වාසයයි.

අගෝස්තු 27 වන දින පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ නිල ප‍්‍රකාශක දමසෝ මැග්බුවෙල් (Damaso Magbual) යන මහත්වරුන්, මැතිවරණ කොමිෂන් සභා මෙන්ම සම්මේලනය සඳහා තම සහභාගීත්වය දැක්වීමට දුරබැහැර රාජ්‍යයන් නියෝජනය කරමින් පැමිණෙන පිරිස් ද ඇතුළත්ව අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කිරීමේ කාර්යයයෙහි නියැලි ක‍්‍රියාකාරීන් පිළිගනිමින් කරුණු දැක්වීම නියමිතය.

රටවල් 45ක නියෝජනය තහවුරු කරමින් සහභාගීවීමට නියමිත 250 දෙනෙකුට අධික ආරාධිතයන් පිරිසකගෙන් කොළඹ දී පැවැත්වෙන මෙම සම්මේලනය වර්ණවත් වනු ඇත. පහළොවකට අධික ආසියානු කලාපීය මැතිවරණ කොමිෂන් සභා ද, සියයකටත් වඩා අධික, ලොව පුරා ක‍්‍රියාත්මක මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ප‍්‍රමාණයක් ද, ශ‍්‍රී ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල රැසක් ද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හා එක්සත් ජාතීන් ද ඇතුළු අන්තර් කලාපීය නියෝජිතායතන රැසක් ද මෙකී අභිමානවත් සමුළුව සඳහා තම සහභාගීත්වය දක්වනු ඇත.

ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සහ මැතිවරණ හා සබැඳි මූලිකාංග පිළිබඳ නිසි අවධානය යොමු කරමින් වඩාත් නිර්ව්‍යාජ වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ පැවැත්වීමෙහිලා අදාළ කර ගත හැකි ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ සැකසීම පූර්වයේ පැවති ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලන තුළ නිරන්තරයෙන් සිදු විය. පළමු ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනය වසර 2012 දී තායිලන්තයේ දී පැවැත් වූ අතර එහිදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ”බැංකොක් ප‍්‍රකාශනය” සම්මත කර ගනු ලැබිණ. එහි දෙවැන්න පවත්වන ලද්දේ ටිමෝරයේ දිලී නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 2015 දීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ සඳහා වූ දිලී දර්ශක සකස් කිරීම එහිදී සිදුවිය. සියයකට අධික ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනයෙහිලා කැපවූ ක‍්‍රියාකාරීන්ගෙන් මෙන්ම විවිධ රාජ්‍යයන්හි නියෝජිතයන්ගෙන් සමන්විතව පැවැත්වූ අවසන් සම්මේලනය ඉන්දුනීසියාවේ බාලි නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 2016 දී පැවැත් වූ අතර එකී ක‍්‍රියාකාරී කැපවීම පදනම් කර ගනිමින්, වඩාත් සුපිළිපන්න මැතිවරණ සඳහා පාදක කර ගත හැකි අටවිධ සාධකයන්ගෙන් යුත් බාලි ප‍්‍රකාශනය එහිදී එළිදක්වන ලදි.

ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා [email protected] වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *