ක්‍රිකට් හදන හැටි ගැන සෙල්ලම්ද සෙල්ලම් එළියට දාමින් ඇමති අර්ජුන කියයි

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී තමිර මංජු රචනා කළ සෙල්ලම් ද සෙල්ලම් ක්‍රීඩා කෘතිය ජනගත කෙරේ. ඒ සෙල්ලම්ද සෙල්ලම් කෘතියේ මුල්පිටපත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත සුබ මොහොතනින් පිරිනමමිනි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ ඊයේ (26) පැවැති SPORTEX 2018 ප්‍ර‍දර්ශන භූමියේදී එය සිදු කෙරිණ. සෙල්ලම්ද සෙල්ලම් කෘතිය තමීර මංජු විසින් ක්‍රීඩා සාහිත්‍යයට තිළිණ කෙරෙන ප්‍රථම කෘතිය වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂවේදී උපාධිය හැදෑරූ තමීර මංජු විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන්හි වසර 18ක අත්දැකිම් ඇත්තෙකි. ඔහු ක්‍රීඩා මාධ්‍යවේදයට පිවිසෙන්නේ 2008 වසරේදී සිරස නිවුස් ෆස්ට්හි ස්පෝර්ට් ෆස්ට් නිෂ්පාදයකු ලෙසින්ය. වසන්තය ඇවිදින් ප්‍රේමගීතාවලිය, රෙජීමක රිඳුම් අරගල ගී ඔහුගේ සෙසු නිර්මාණ වේ.

ඔහුගේ සෙල්ලම් ද සෙල්ලම් කෘතියට පාදක වන්නේ ක්‍රීඩා පිටියේ සතර සීමාවෙන් එපිට එතෙක් මෙතෙක් ඔබ නොකියවූ කථා සමුදායකි. අනූහයේ ලෝක කුසලාන තරගාවලියේදී අර්ජුන රණතුංග නැති කරගත් චෙක්පත, රග්බි බෝලේ රවුම් නැත්තේ ඇයි ? , ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වා දුන් එංගලන්තයේ කිරිදොවන්නියෝ, බොරුකාර ලෙස්රිං, ක්‍රීඩාවේ ඇටබෝල, සබන්තරග, දඩ බල්ලෝ සහ ලුහුට්ටෝ යනාදි ලෙස එකහුස්මට රසවත්ව කියවිය හැකි කථා රැසක් මෙම කෘතියට ඇතුළත් වේ.

සෙල්ලම්ද සෙල්ලම් කෘතිය ජනගත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රීඩවක විෂය කරුණු පමණක් නොව ක්‍රීඩාවේ ඉතිහාසය ඇතුළුව අන්‍ය කරුණු දැනගැනීමද විශිෂ්ට ක්‍රීඩකයකු වීමට අතශ්‍යවශ්‍ය කරුණක් වන වබයි. කෙසේනමුත් ක්‍රීඩාව තරුණ පරපුර අතරේ ප්‍ර‍චලිත කිරීමේ නිසි වැඩපිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව නැතැයිද ඔහු අවධාරණය කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ අවාසනා තත්ත්වය බහුලව දක්නට ලැබෙන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“මම නම් ක්‍රිකට් ගැන අද කතා කරන්නෙ නැහැ. මොකද ෆයිසර් ඇමතිතුමා මට වඩා ක්‍රිකට් දන්නවනේ. එතුමා නීතියන් දන්නවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව එතුමාටම බාරදීලා මම නිහඬව ඉන්නවා. මොකද ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න ඇතිකරගන්න ඕන නැති නිසා. හැබැයි ඉදිරි ආණ්ඩුවක් ආ වෙලාවක මම ක්‍රිකට් ටික හදලා දෙන්නම්. මොකද මට ඒ ගැන වගකීමක් තියෙනවා. ක්‍රීඩා ඇමතිකම කවදාවත් බාර ගන්නේ නැහැ කියලා මම පැහැදිලිවම කියලා තියෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මට වගකීමක් තියෙන නිසා වෙන දේශපාලන නායකත්වයක් හරි ඇවිල්ලා මට කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන හදලා දෙන්න කියලා අනිවාර්යෙන්ම මාස හයක් ඇතුළත එය කරලා දෙනවා. ඒක මම කරන්නේ ක්‍රිකට් ගැන පෙරේත කමකට නෙමෙයි. කාටවත් කියන්න බෑ මට ක්‍රිකට්වලට එන්න බැහැයි කියලා. මොකද මට තරම් අයිතිවාසිකමක් නැහැ කාටවත් ක්‍රිකට්වලට. අද ක්‍රිකට් පරිපාලනයට ක්‍රීඩකයින්ට එන්නේ දෙන්නෙ නැහැ.මේ කොහෙද යන දේශපාලන බලයක් නැති අපත කට්ටියක් එක්කහු වෙලා ක්‍රිකට් විනාස කරලා තියෙනවා. ක්‍රීඩාවත් විනාස කරලා තියෙනවා. ඒක මම අසතුටින් හරි කියන්න ඕන. ක්‍රීඩා ඇමතිවරුත් ඒකට උදව් කරනවා. ඒකයි තියෙන අවාසනාව. නමුත් මතක තියාගන්න මේ සියලු දෙයටම මහජනතාව හරි විදියට උත්තර දෙයි ඊළග මැතිවරණවලදී….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

සෙල්ලම් ද සෙල්ලම් කෘතිය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට තමීර මංජු විසින් පිළිගැන්නූ අවස්ථාට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වූ අනස්ටාසියා කොක්ලොවා (Anastasia Khokhlova) මහත්මියද සහභාගි වූවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *