ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කෙරුණු රන් වියන ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරිම ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අස්ගිරි, මල්වතු මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ මෙම රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනිණි.

වර්ග අඩි 3450 කින් යුත් රන්වියන ප්‍රතිසංස්කරණය සදහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් 1987 වසරේදී ඓතිහාසික දළදා මාළිගාව වෙත මෙම රන් වියන පූජා කළ අතර, දශක තුනකට අධික කාලයක් දළදා සමිදුට සෙවණ සැලසූ රන් වියන ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවයි

ඉයේ උදෑසන ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ප්‍රතිසංස්කරණය කෙරුණු රන් වියන විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

රන් වියනේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ ශිල්පීන් ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක ද නිරත විය.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල. මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *