එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මොණරාගල දී හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික වෙල්ලස්සේ ජනතාව ප්‍රධාන ශ්‍රී ලාංකීය ජාතියේ ව්‍යවසායකත්ව හැකියාව වැඩිදියුණු කිරීමට මඟකිය‍ාදෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය හෙට (29) සිට පුරා තෙදිනක් මොණරාගල දී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු යහපාලන ජාතික රජයේ තෙවසරක පාලන සමයේ රටේ සිදුවූ සංවර්ධනය, සිදුවෙමින් පවතින දියුණුව හා වසර 2025 වනවිට රට රැගෙන යෑමට නියමිත සංවර්ධනයේ අභිසෙස් මඟ පිළිබඳව රටේ සමස්ත ජනතාවට මේ ප්‍රදර්ශනයෙන් කරුණු කාරණා දැකබලාගත හැකිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 2025 දැක්ම (V2025) ට අනුව පොහොසත් රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින් සිටින බව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංකල්පය ඉදිරිපත් කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව යන ප්‍රධාන කරුණු දෙක මත සංවර්ධිත රටක් සෞභාග්‍යමත් ජනතාවක් බිහි කිරීම සිදු කරන ආකාරය මේ ප්‍රදර්ශනයෙන් විදහා දැක්වෙන බව ද මංගල සමරවීර මහතා කීය.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අක්කර 22ක භූමියක ප්‍රදර්ශන කලාප 12කින් යුතුව මේ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ඊට රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රදර්ශන කුටි 512කට අධික ප්‍රමාණයක් එක්කොට ඇත. ප්‍රදර්ශනයේ සමාරම්භක දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. නව ව්‍යවසායකයකු, නව නිපැයුම්කරුවකු රටට, ලොවට හඳුන්වාදීම, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු උපකාරක සේවා සැපැයීම මේ ප්‍රදර්ශනයෙන් සිදුවේ. ඊට අමතරව ප්‍රධාන අංශ 12ක් යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම ගම්නියම්ගමකම යටිතල පහසුකම් දියුණු කිරීමේ ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළද මෙහි ක්‍රියාත්මක වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තබනු ලැබේ.

හෙට (29) දින උදේ 10.00ට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ධීවර හා ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන ඇමැති විජිත් විජිතමුණි සොයිසා, ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි හා මොනරාගල දිසාපතිතුමිය, ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘත කරනු ලබති.

ප්‍රදර්ශනයේ දෙවැනි දින ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එක්වෙති.

ප්‍රදර්ශනයේ තෙවැනි දිනට නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *