ශ්‍රී ලංකාවෙන් ආදර්ශ බොහොමයක් ලබා ගත්තා – සිංගප්පූරු විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – සමාජයේ යම් යම් කොටස් මිත්‍යාව හා භීතිය මවාලමින් ජනතාව නොමග යවන සුළු අදහස් පතුරවමින් සිටිය ද, බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා, ආදායම් මාර්ග හා ඉහළ ජීවන තත්වයක් බැවින්, සිංගප්පූරුව හැමවිට ම බහුතර සුගතිය සලසන පිළිවෙතක් අනුගමනය කළ බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා (H.E. Vivian Balakrishnan) පෙන්වා දුන්නේය.

මීට දශක ගණනාවකට පෙරාතුව ඒ අරමුණ ඇතිව සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ආදර්ශ බොහොමයක් ලබා ගත් බවත් බාලක්‍රිෂ්නන් මහතා අවධාරණය කළේය.

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (28) උදෑසන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමග හැනොයි නුවර පෑන් පැසිෆික් හෝටලයේ දී පාතරාස සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

අතීතයේ ලංකාවෙන් ආදර්ශ ලැබූ සිංගප්පූරුව මේ වන විට පුළුල් ඉදිරි ගමනක යෙදෙමින් සිටියත්, ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරලීම නිසා ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක් වුණු බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, යහපාලන රජය උත්සාහ දරන්නේ ඒ ගමන යළි ආපසු හරවා, ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කරලීමට බව ද පැවසීය.

මේ සාකච්ඡාවේ දී වත්මන් ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. සමාජ හා ජනමාධ්‍ය හරහා ගෝත්‍රික හා ඕපාදූප සමාජයක් නිර්මාණය වීමේ අවදානම ගැන ලෝකය පුරා සිදු කෙරෙන අධ්‍යයනයන් සම්බන්ධව ද අවධානය යොමු විණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කාර්යයන් උදෙසා එල්ල විය හැකි අභියෝගයන් ගැන ද අදහස් හුවමාරු කර ගැනිණි.

ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යංශයේ සාගර කටයුතු සහ දේශගුණික ඒකකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සශිකලා ප්‍රේමවර්ධන, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 2 =