ඉන්දීය සාගරය යනු ‘අනාගතයේ සාගරය’ බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අවිශ්වාසය සහ තරගකාරීත්වය ඉහළට එසැවීම වෙනුවට එදිරිවාදිකම් හා විරෝධතාවන් පසෙක ලා එකමුතුව ක්‍රියා කිරීම ඔස්සේ ලෝක ජනතාවට අතිමහත් ප්‍රතිලාභ අත් කරදීමට හැකි වන බව පැවසූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාධාරණත්වය, සමානාත්මතාවය හා සෞභාග්‍යය සපිරි ලෝකයක් බිහි කිරීම උදෙසා අප ඉදිරියේ ඇති අද්විතීය අවස්ථාව අත්නොහැරිය යුතු බව අවධාරණය කළේ ය.

මේ සද්කාර්යය පෙරට ගෙනයාමේ දී ඉතා වැදගත්ම සාධකය වනුයේ ඉන්දීය සාගරය බව ද, ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව, සාමය හා නිදහස් නාවික ගමනාගමනය සහතික කිරීම සඳහා සියළු පාර්ශවකරුවන් එකමුතුව කටයුතු කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉන්දීය සාගරය යනු ‘අනාගතයේ සාගරය’ යැයි අවධාරණය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා, සාගරය ආශ්‍රිත රටවල ශිෂ්ටාචාරයන් ඔස්සේ මතුවන සංස්කෘතීන්, යටත් විජිත ක්‍රමවේද, ජාත්‍යන්තර ප්‍රමිතීන් හා සාරධර්ම සමග සසැඳෙන සිරිත් විරිත් හා වටිනාකම් ආදියෙන් ඉන්දීය සාගර කලාපය පෝෂණය වී ඇති බවත් ප්‍රකාශ කළේය. වර්තමානයේ සිදුවන භූදේශපාලනික විපර්යාස සඳහා සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්වීමට කලාපීය සංවිධානයන් අපොහොසත් වී ඇති නිසා නව හැඩතල සහිත බහුපාර්ශවීය සංවිධාන නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති බවත්, ඒ සඳහා මෙවර සමුළුව සවිමත් පදනමක් වනු ඇති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේ 27 වන දා සන්ධ්‍යාවේ හැනොයි නුවර ෂෙරටන් හෝටලයේ දී පැවති තුන්වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතමිනි. රටවල් 48 ක් නියෝජනය කරමින් නියෝජිතයන් 280 දෙනෙක් මෙවර සමුළුවට සහගාගී වූ අතර, මෙතෙක් පැවති සමුළු අතරින් වැඩි ම නියෝජනයක් සහිත සමුළුව වශයෙන් ද මෙය හැදින්විය හැකි ය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ යුරෝපීයයන් පැමිණීමට ශත වර්ෂ ගණනාවකට පෙර සිට ම ඉන්දීය සාගර කලාපීය රටවල් ඉන්දීය සාගරය ඔස්සේ වාණිජ කටයුතු වල යෙදුණු බව ය. මේ වාණිජ කාර්යයන්හි දී ජාතිය, වර්ගය, ආගම හෝ සංස්කෘතිය ගැටළුවක් නොවුණු බවත්, ඉන්දීය සාගර කලාපීය වෙළඳුන් අග්නිදිග ආසියාවට, ඈත පෙරදිගට, අප්‍රිකාවට, යුරෝපයට හා මැදපෙරදිග රටවලට යාත්‍රා කළ බවත් සඳහන් කළ වික්‍රමසිංහ මහතා අතීත නාවුක මාර්ග අධ්‍යයනය කිරීමේ දී නිදහස් සාගර ගමනාගමනය එකල පැවති බව පැහැදිලි වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

ඒ අතීත සම්ප්‍රදායයන් යළි ස්ථාපිත කරමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීමෙන් යහපත් හා සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනංවා ගැනීමේ අවකාශයන් උදාවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

තුන්වන ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසිවාරය අමතමින් ඉන්දීය විදේශ ඇමතිනී ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය සඳහන් කළේ අතීතයේ සියළු බාහිර සබඳකම් ඇති වූයේ සාගරය පදනම් කරගෙන බව ය. ඒ නිසා ඉන්දීය සාගරය පැරණි වංශ කතාවන්හි ‘රත්නාකර’ යනුයෙන් හඳුන්වා දී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය. අද සාගර කාර්යයන්ට සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අභියෝගයන් එල්ල වන බව පෙන්වා දුන් විදේශ ඇමතිනිය, ඒවා ජයගත හැක්කේ නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළාය.
වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෆාම් බින් මින් (H.E. Pham Binh Minh) පැවසූයේ ඉන්දු ආසියා ශාන්තිකර කලාපය තුළ තිරසර සාමය, සමෘද්ධිය හා ආරක්‍ෂාව තහවුරු කරලීම ඔස්සේ සියළු පාර්ශවකරුවන්ට වාසි සහ යහපත උදා කරගත හැකි බව ය. ඒ අරමුණ ඇතිව කලාපීය නව හැඩතල, බහු පාර්ශවීය එකමුතුව ඔස්සේ නිර්මාණය කරගත යුතු බව ද ෆාම් බින් මින් මහතා පෙන්වා දුන්නේ ය.

හින්දු, ඉස්ලාම්, කිතුනු හා බෞද්ධ ආගම් පමණක් නොව විවිධ සංස්කෘතීන් ගණනාවක් ද එකට එක් වූයේ ඉන්දීය සාගරය ඔස්සේ බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා (H.E. Vivian Balakrishnan) මහතා සමාරම්භක සැසිය අමතමින් පැවසීය. නවීන ලෝකයේ ගුවන් හා දුම්රිය ගමන් අධිවේගී මට්ටමට ළඟා වී තිබුණ ද, තාක්‍ෂණය ඔස්සේ ක්‍ෂණික සම්බන්ධකම් ඇති කරගැනීමේ මාර්ග නිර්මාණය වී තිබුණ ද, තවමත් ලෝකයේ රටවල් යා කරන ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වී ඇත්තේ සමුද්‍ර ගමනාගමනය බව ඔහු පැවසීය. ලෝකයේ වාණිජ කටයුතු වලින් 80% ක් නාවික ක්ෂේත්‍රය ඔස්සේ සිදුවන බවත්, ඉන් වැඩි ප්‍රතිශතයක් ඉන්දීය සාගරය හරහා සිදුවන බවත් බාලක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කළේය. ඒ නිසා විවෘත හා සියළු පාර්ශව ඇතුළත් හැඩතල, ඉන්දීය සාගර කලාපය වෙනුවෙන් අලූතෙන් නිර්මාණය කරගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

සමාරම්භක උළෙල අමතමින් නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය උපේන්ද්‍ර යදව් (H.E. Upendra Yadav) මහතා පෙන්වා දුන්නේ කලාපීය අභියෝගයන් ජය ගැනීමටත්, සියළු රටවලට සමගියෙන් හා සමාදානයෙන් ජීවත් වීමටත්, ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව ඉතා වැදගත් වන බව ය. ඒ නිසා කලාපීය හැඩතල පිළිබඳව අලූතින් සිතා බැලීම කාලෝචිත ක්‍රියාවක් බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙම සමුළුවට ව්‍යාපෘති කළමනාකරණ, යෞවන කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු හා දේශගුණික විපර්යාස පිළිබඳ අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් සශිකලා ප්‍රේමවර්ධන, සහකාර ලේකම් රුවන් ගුණවර්ධන, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *