කාන්තාවන් විදේශගතවීමේදී ගතයුතු පවුල් පසුබිම් වාර්තාව ඉවතට – නි. ඇමති මනූෂ

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් විදේශ ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට වන නීති පනවා තිබීම නිසා නොයෙක් වංනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් කාන්තාවන්ගේ හා පවුල්වල ආරක්ෂාවට බරපතල හානියක් සිදුව ඇති බවත් මේ නිසා පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කළ සුව දිවියට අරුණැල්ලක් වෛද්‍ය කදවුර සහ ජංගම සේවය ගාල්ල නාගොඩ, ශ්‍රී විජිතාරාමයේදී පැවැති අතර එහිදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය. එහිදී විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ප්‍රදේශවාසීන් වෙනුවෙන් සෞඛ්‍ය සායනයක් පැවැත්වූ අතර ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහක්ද පැවැත්විය.

මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් හැට දෙනෙක් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදුන්නේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

වෛද්‍ය කදවුරක් හරහා මේ ප්‍රදේයේ සිටින විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට වගේම ප්‍රදේශවාසීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. ඒ වගේම මෙතැන සිටින අයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. විගමණික පවුල් කියන්නේ රටට විශාල ආදායමක් ගෙන දෙන පිරිසක්. විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ආදායම් මාර්ගය බවට තේ, පොල්, රබර් පත්වී තිබුණා. පසුව එය ඇගලුම් කර්මාන්තය බවට පත්වූවා. දැන් රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම මාර්ගය වෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන එන ආදායමයි. මේක ගැන අපි සතුටු වෙන්නේ නෑ. මේක ජාතියේ වාසිය කියලා කියන්න බෑ. අපේ රටේ නිශ්පාදන අපනයනයෙන් වැඩිම විදේශ විනිමයක් ලංකාවට ගෙන ඒමට නොහැකිවීම රටේ වාසනාව නෙමෙයි අවාසනාවයි. අපි සීනි, පරිප්පු, හාල්, ඉන්ධන, කිරිපිටි සියල්ලම පිටරටින් ගෙන්වන්නේ. මේ සියල්ල ගෙන්වීමට විදේශ විනිමය හොයලා දෙන්නේ විදේශගත ශ්‍රමිකයින්.

කලාපීය වශයෙන් වැදගත් භූ දේශපාලනික පිහිටීමක තිබෙන ලංකාවේ නිශ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය වැඩි වෙන්න ඕන. රටේ ආයෝජන වැඩි වෙන්න ඕන. ඒත් විගමණික ශ්‍රමිකයා එවන මුදල් වලින් තමයි විදේශ විනිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නේ. මේ නිසා තමයි විදේශ රැකියා කරන අපේම කාන්තාවන්ගේ පවුල්වල අය වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට තමයි අපි මෙහි ඇවිත් තිබෙන්නේ. විදේශ රැකියා කරන කාන්තාවන්ට නොයෙක් නොයෙක් අවස්ථාවලදී ගැටලුවලට මුහුණදීමට සිදුවෙනවා. ඒ සෑම අවස්ථාවකදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වෙනවා. විදේශ රැකියා ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාගේත් මගේත් අභිප්‍රාය වන්නේ අනාගතයේදී මේ කාන්තාවන් විදේශ ගතවීම අවම කරලා පුහුණු ශ්‍රමිකයින් හා පිරිමි අය විදේශ ගත කරලා ආදායම් ලබාගැනීමට කටයුතු කරනවා. අපි ඊශ්‍රාලය, ජපානය වැනි අලුත් වෙළදපොළවල් සොයාගෙන යන්නේ මේ නිසයි. වෘත්තිකයින් හා වෘත්තීය මට්ටම් වල අය ඒ සදහා යොමු කරලා නුපුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීම අඩු කරලා ගැටලු අවම කිරීමට කටයුතු කරනවා.

අද මෙතැනට පැමිණිලා ඉන්න විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය දායකත්වය ශක්තිය අපි ලබාදෙනවා. හොදින් ඉගෙනගෙන වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වීමට, නාසා ආයතනය වැනි ජාත්‍යන්තර ආයතනවල රැකියා කරන පිරිසක් බවට පත්වීමට හැකියාව ලැබේවායි කියල මම මේ දරුවන්ගෙන් ඉල්ලනවා. ඔබලා ධෛර්යවන්ත දරුවන් විය යුතුයි. ලෝකයටම අවශ්‍ය දැනුම සම්පාදනය කරන බුද්ධිමතුන් පිරිසක් බිහි කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචිවී විදේශ ගතවන අයට තමයි සියලුම වරප්‍රසාද ලබාදීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ ගතවන්න කියලා සෑම විටම අපි දැනුම් දෙන්නේ.

අවුරුදු පහට වඩා අඩු දරුවන් සිටින කාන්තාවන්ට අපි විදේශ ගතවීමට අවස්ථාව ලබාදෙන්නේ නෑ. අවුරුදු පහට වඩා වැඩි වුනත් දරුවන්ට ආරක්ෂාවක් නැහැ කියලා තේරුම් ගියොත් අපි ඒ අයට විදේශ ගතවීමට අවස්ථාව දෙන්නේත් නෑ. ඒ නිසා අපේ කාන්තාවන් කූට ව්‍යාපාරිකයින්ට හසුවෙලා ලක්ෂ ගණන් තමන්ට ලැබීමටතිබෙන මුදල් වියදම් කරලා රට යනවා. මේ අය ගුවන්තොටුපල හරහා හොරාට යනවා. මේ අය හොර පවුල් පසුබිම් වාර්තා හදාගෙන රට යනවා. ගාල්ලේ නාගොඩ කෙනා කිළිනොච්චියෙන් පවුල් පසුබිම් වාර්තාවක් හදාගෙන රට යනවා. දරුවන් ඉන්නවද නැද්ද බලන්නේ නැතුව මේ අම්මලා පිටරට යනවා කිසිම වගකීමක් නැතුව හොර පාරේ.මේ නිසා මේවා වැලැක්වීම සඳහා මේ නීති රීති ලිහිල් කරලා මේ දරුවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් හරීන් ප්‍රනන්දු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙනවා.අපි බලාපොරොත්තු වෙනවා මේ කාන්තාවන්ගේ ආරක්ෂාව වගේම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් වැඩපිලිවෙලක් සකස් කරලා මේ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිලිවලක් අරගෙන කාන්තාවන් රටයාමේ දී තියෙන නීති රීති බාධා ඉවත් කරලා මේ කූට උපක්‍රම වලින් විදේශගත වීමේ ක්‍රමවේද ඉවත් කරන්න අපි සූදානම් වෙනවා.

අපේ සංවර්ධන නිලධරීන් දහසකට වැඩි සංඛ්‍යාවක් රට වටේම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම සංවර්ධන නිලධාරීන් එක් අයෙක්, දෙදෙනෙක් අනුයුක්ත කර තිබෙනවා. මේ අය උපාධිධාරීන්. කවුරු හරි රට යනවානම් දරුවන්ගේ රැකවරණය පිළිබද වගකීම මේ නිලධාරීන්ට ලබාදීලා කූඨ උපක්‍රම හරහා කරන වංචා නතර කිරීමට රජයට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අපිට සංස්කෘතිමය වශයෙන්, ආගමික වශයෙන්, නීතිමය වශයෙන් දරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. එම සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන අතරම සුරක්ෂිත විදේශ රැකියා අවස්ථාවන් ලබාදීමට අපි කටයුතු කරනවා.

විහාරාධිපති හොරංගල්ලේ විජිත හිමියන් මෙහිදී විශේෂ අනුශාසනාවවක් පැවැත්විය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර මහතාද අදහස් දැක්විය.

වෛද්‍ය සායනය සදහා කරාපිටිය, නාගොඩ, උඩුගම ඇතුළු රෝහල්වල වෛද්‍ය කාර්යමණ්ඩලය මෙන්ම ආර්යුවේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කාර්යමණ්ඩලය සම්පත් දායකත්වය ලබාදී තිබුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *