ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කර ගැනීමට එකඟතාවයක

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර් ජනාධිපති Win Myint මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණු අතර එහිදී නායකයින් මේ පිළිබඳ සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වෙළෙඳ කටයුතු පහසු කර ගනු වස් 1999 වසරේදී මෙම වෙළෙඳ ගිිවිසුමට එළැඹිනි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර් – ශ‍්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ විශේෂ අවධානය යොමු වූහ.

දෙරටම ථේරවාදී බෞද්ධ දර්ශනය සහිත රටවල් වීමත්, කෘෂිකර්මය මුල් කරගත් ආර්ථික රටාවකට හිමිකම් කීමත් යන කරුණු මත දෙරට අතර සමානකම් රැසක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ඒ අනුව දෙරටේ සබඳතා ඉතා පහසුවෙන් ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතින බව ද කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා මියන්මාර් ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ ද මෙහීදී අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාවක් වූ අවුන් සා සුකී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා 2016 වසරේදී එතුමිය හමුවූ අවස්ථාව ද සිහිපත් කර සිටියේය. අද ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳියාව ශක්තිමත් කිරීම තම ප‍්‍රමුඛ වගකීමක් සේ ඉටුකරන බව ද කියා සිටියේය. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටත්, ජනාධිපති ධූරයේ අසීමිත විධායක බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ ආකාරයත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.

2015 වසරේදී තමා කළ ඉල්ලීම පරිදි මියන්මාරයෙන් ශ‍්‍රී ලංකාවට ඇත් පැටවකු ලබදීමට ගත් පියවර පිළිබඳව ද මෙහිදී මියන්මාර් ජනාධිපතිවරයා වෙත සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකීය ජනතාවගේ මුදුන් මල්කඩ වන ඓතිහාසික දළදා සමිඳුන් වැඩ වෙසෙන දළදා මාළිගාව වෙත එම ඇත් පැටවා පූජා කරමින් “පුලතිසි රාජා” නමින් එම ඇත් පැටවාට නම තැබීමට කටයුතු කළ බව ද සිහිපත් කළ අතර, ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක එම ඇත් පැටවා දැක බලා ගැනීමට පැමිණෙන්නැයි ද මියන්මාර් ජනාධිපතිවරයාට ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ මියන්මාර් ජනාධිපතිතුමා කියා සිටියේ නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවයි. වසර 60 කට එහා දිව යන දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළ මියන්මාර් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන් මියන්මාරයට ලබාදෙන සහය ද අගය කෙළේය. ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේ 300 නමක් පමණ මියන්මාරයේ විවිධ බෞද්ධ සිද්ධස්ථානවල වැඩවෙසෙන අතර ථේරවාදී බෞද්ධ දර්ශනය ශක්තිමත් කර ගනිමින් එය දිගුකලක් ඉදිරියට ගෙනයාමට දෙරටම එක්වී කැපවීමට ද ප‍්‍රතිඥා දුන්නේය.

එමෙන්ම දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප‍්‍රවර්ධනය කර ගැනීමටත්, මියන්මාර් ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශ‍්‍රී ලංකාවට යොමු කිරීමට කටයුතු කරන බවත් මියන්මාර් ජනාධිපතිවරයා සඳහන් කළේය. කෘෂිකාර්මික රටවල් ලෙස දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහයෝගය ඉහළ නංවා ගැනීමට ද නායකයින් සාකච්ඡා කළහ.

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් නිදහස් සහ සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහත් සතුටින් යුතුව අගය කළ මියන්මාර් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් ලබාදීම මියන්මාරය කටයුතු කරන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *