ජනපති සහ නේපාලයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අතර සුහද හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නේපාලයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අතර සුහද හමුවක් ඊයේ (02) කත්මණ්ඩු නුවර දී පැවැත්විණි.

මෙහිදී ශ‍්‍රී ලාංකිකයන් විසින් ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමා පිළිගත් අතර ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.

බිමිස්ටෙක් නව සභාපති ධුරයෙන් පිදුම් ලැබීම පිළිබඳ තම නායකයාට සුභාශිංසන පිළිගැන්වූ පිරිස ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට ජනාධිපතිතුමා සිදු කරන කැපවීම පිළිබඳව ද සිය ප‍්‍රශංසාව පළ කර සිටියහ.

එරට වෙසෙන ශ‍්‍රී ලාංකික විද්වතුන්, වෘත්තීයවේදින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර කත්මණ්ඩු නුවර පිහිටි ප‍්‍රථම ථේරවාදි බෞද්ධ විහාරස්ථානය වන ආනන්ද කුටි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද ජනාධිපතිතුමා එක් විය.

ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් කෙටි උත්සවයක් ද එහිදී සංවිධාන කර තිබිණි.

විහාරාධිපති සමස්ත නේපාලයේ භික්ෂු සංඝ සභාවේ සභාපති පූජ්‍ය භික්ඛු මෛත‍්‍රී මහා ථේර ස්වාමින් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත් අතර මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනය කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

ආනන්ද කුටි බෞද්ධ විහාරය නේපාලයේ ප‍්‍රථම ථේරවාද බෞද්ධ විහාරස්ථානය වන අතර 1931 වසරේ දී ශ‍්‍රී ලංකා – නේපාල ථේරවාද සබඳකා ආරම්භ වී ඇත්තේ ද එම විහාරස්ථානය මගිනි.

2015 වසරේ ඇතිවූ භූ කම්පනයකින් විනාශයට පත් එම බෞද්ධ විහාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා රජයේ අනුග‍්‍රහයෙන් සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීමේ කටයුතු 2016 වසරේ මැයි මාසයේ දී ආරම්භ කළ අතර මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට එහි ඉදිකිරීම් නිම කිරීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මෙම ඉදිකිරීම් සිදුකරනු ලබන අතර ඒ සඳහා දළ වශයෙන් ශ‍්‍රි ලංකා රුපියල් මිලියන 300 ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. එම ඉදිකිරීම් අධීක්ෂණය බුද්ධ ශාසන අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නේපාලයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ලැබේ.
එම ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීමේ සාකච්ඡ‍ෙවකට ද ජනාධිපතිතුමා එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *