පාර්ලිමේන්තුවට අලුත් පුටු ගන්නේ නැහැ – කතානායක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සභා ගර්භය සදහා අලුත් පුටු මිලදී ගන්නේ නැති බව කතානායක කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවට අලුතෙන් පුටු මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති ආසන සහ අනෙකුත් සියලු උපකරණ ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් බැවින් ඒවායේ වෙනසක් සිදු කරන්නේ නම් ඉතා පරිස්සමෙන් සිදුකළ යුතු බව එම නිවේදනයේ සදහන් වේ.

අසුන්වල අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් අලුත්වැඩියා කිරීම මිස අලුතෙන් මිලදී ගැනීම නොකළ යුතු බවට කතානායකවරයා උපදෙස් දී තිබේ.

පාර්ලිමෙන්තුවේ ප්‍රෞඩ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට ඉඩ නොදෙන බව කතානායකවරයා අවධාරණය කරනු ලැබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා 3500 ක් ඉක්මවන පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කාලීනව පිළිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ වගකීම බැහැර කළ නොහැකි බවද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

මේ අනුව පාර්ලිමේන්තු වහලයේ සහ වැසිකිලි පද්ධතියේ පිළිසකර කිරීමක් පිළිබද අවධානය යොමුව තිබේ. එවැනි පසුබිමක් තුළ ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාර පදනම් විරහිත බව කතානායක කාර්යාලය අවධානය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *