ශ්වසන රෝග පිලිබද ජාතික රෝහලත් ඩිජිටල් කරණයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්වසන රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ රෝගී ප්‍රතිකාර සේවාවන් රැසක් ඩිජිටල් කරණය කෙරේ.
මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ.

එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශ්‍රීලනය කිරීමට හැකිවේ.

තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස් රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල් කරණය කිරීම නිසා විනාඩී කිහිපයක් තුලදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස් රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබේ.

මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල්. වනිගරත්න මහතා:

විශේෂයෙන් සදහන් කරන්න ඕනේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමගම රෝහල් කාර්ය මණ්ඩලයට හැකියාව ලැබෙනවා රෝගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට.ඒක රෝගීන්ට ලැබෙන වාසියක් ඒවාගේම ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට රෝහලේ රැදී සිටීමට උවමනා කාලය අවම වී තිබෙනවා.දැන් බලන්න රෝගියෙක් එක්ස්රේ එකක් ගත් සැනින් වෛද්‍යවරයාට තම ඉදිරිපිට තිබෙන පරිගණක තිරයෙන් එය නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.වසරකට රුපියල් මිලියන හතරහමාරක් පමණ එක්ස්රේ පටල සදහා වියදම් වුණා.ඒ මුදල අද ඉතිරි කර ගැනීමට හැකිවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා:‍

මෙම ව්‍යාපෘතිය රෝහල් වල ක්‍රියාත්මක කරන මුල් අවධියේදී විවිධ දුෂ්කරතාවයන් මතුවුණා.සමහර වෙලාවට සිතුණා පැරණි ක්‍රමයම හොදයි කියලා.අද ඒ බාධක දුෂ්කරතා ගොඩක් ජය ගැනීමට හැකිවී තිබෙනවා.අයිසීටීඒ ආයතනයේ ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන ලබා දුන් සහයෝගය කිසිවිටෙක අමතක කරන්න බැහැ.

මේ වන විට මෙම ව්‍යාපෘතිය රෝහල් 32 ක පමණ ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙම වසර තුලදී තවත් රෝහල් 12 පමණ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මෙම ව්‍යපෘතිය තම රෝහල් වලත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා සදහන් කරයි.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන සදහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ සිදු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *