එජාපයට හෙටට 72 යි ..මහලේකම් සූදානම පිරික්සයි

(කොළඹ, ලංකාපුවත්) –නූතන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිම සකස් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවර ඉටුකළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය හෙට (05) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වේ.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෙට පැවැත්වෙන සංවත්සරය සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඇති සූදානම පිළිබඳව පරීක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) එම ස්ථානයට පැමිණියා.

එක්සත් ජාතික පක්ෂය මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂය වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව ඉදිරිපත් වූ නිසා 1946 සැප්තැම්බර් මස 06 වන දින ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වය යටතේ එම පක්ෂය ආරම්භ කරනු ලැබුවා.

කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් මාවතේ ෆාම්කෝට් මන්දිරයට රැස්වූ සාමාජිකයින් 205ක පමණ සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමට නායකත්වය ලබාදුන් අතර පක්ෂය පිහිටුවන අවස්ථාවේදී “අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇති කරගත යුතුය. ජාති ආගම් භේද අනවශ්‍යයි. සිංහල, ද්‍රවිඩ, යෝනක, මැලේ හෝ බර්ගර් නැ‍තහොත් යුරේෂියන් වර්ගයට අයත් වූවද අප සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය කියාය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි භක්තිකයන් වූවද අප සියලුම දෙනා පැවසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවාය” යනුවෙන් ඩී. එස්. සේනානායක මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළ අතර එම මැතිවරණය ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට ඩී. එස්. සේනානායක මහතා නායකත්වය ලබාදුන්නා.

ප්‍රථම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් විසින් ජාතික සංහිඳියාව මුදුන් පමුණුව ගැනීම සඳහා පුරවැසි පනත හඳුන්වා දීමෙන් මෙරට ආර්ථිකයේ ශ්‍රම බළකායෙන් විශේෂ තීරුවක් නියෝජනය කළ වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් පුරවැසිබව ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබුවා.

ඩී. එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කරන සමයේ දී සිට කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කර තිබුණු අතර මේ සඳහා බුද්ධිමය දායකත්වය ලබාදෙනු ලැබුවේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයා වූ සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ මහතායි.

මෙම කෘෂි සංවර්ධන ක්‍රියාවලිය මඟින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ආරම්භ කරනු ලැබුවා.

1950 දශකය වනවිට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගැනීමට සමත් වුණා.

1952 දී මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූයේ ඩඩ්ලි සේනානායක මහතා ගෞරවාන්විත දේශපාලනයක නිරත වූ අතර ඔහු ජනසම්මතවාදයට හිස නැමූ නායකයකු ලෙස ජනතා පැසසුමට ලක්වී සිටියා.

ඩඩ්ලි සේනානායක මහතා විසින් චීන-ලංකා රබර් සහල් ගිවිසුමට එළඹීම මඟින් විශේෂ ප්‍රවේශයකට ශ්‍රී ලංකාව යොමුකළ අතර මේ නිසා රබර් නිෂ්පාදනය සඳහා ලෝක වෙළෙඳ පොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

1965 එජාප ආණ්ඩුව මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයන් හඳුනා ගැනීමේදී සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමඟ බද්ධකර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත් වනවා.

ඒ අනුව 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍ය මැදිහත්වීම යට‍තේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආයෝජනයන් ලෙස සැලකිය හැකියි.

මෙමගින් රටේ සංස්කෘතිය හා සදාචාරාත්මක අංග ආරක්ෂා කරගනිමින් ආර්ථිකය දියුණු කරන ආකාරය පෙන්වා දුන් නිසා තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබුණා.

ඩඩ්ලි සේනානායක මහතාගේ හදිසි ඉවත්වීමත් සමඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල මහතායි.
එජාප දර්ශනය ඉදිරියට ගෙන යමින් ඩී. එස්. සහ ඩඩ්ලි ආරම්භ කළ වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාර සංවර්ධන සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව සමෘද්ධිමත් මට්ටමට ගෙනඒමට එතුමාණන් සිය නායකත්වය ලබාදුන්නා.

මේ අනුව 1947, 1960 මාර්තු සහ 1965 යන වර්ෂවල පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කොට මෙරට සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් ඇතිකිරීමට පියවර ගනු ලැබුවා.

එජාපයේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කොට යෝධ විප්ලවයක් ඇතිකිරීමට නායකත්වය ලබාදුන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතායි.

1977 වර්ෂයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී හයෙන් පහක බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජේ. ආර්. ජයවර්ධන මහතා සමත්වූ අතර එහිදී පාර්ලිමේන්තු ආසන 168න් 140 ක් ජයග්‍රහණය කිරීමට එජාපය සමත් වුණා.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකදී ලැබූ ඉහළම ජයග්‍රහණය එයයි.

ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රාජ්‍යයන් සමඟ සමීප සබඳතා ඇතිකොට එවක පැවති ලෝක සමාජයේ දියුණුව ශ්‍රී ලංකාවට එවක එජාප රජය කටයුතු කළ අතර එහිදී නව ආර්ථික දර්ශනයක් ලෙස විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට හඳුන්වාදීමෙන් ආර්ථික ක්ෂේත්‍රයේ මහා පෙරළියක් ඇතිකිරීමට හැකියාව හිමි වුණා.

එම යුගයේදී නවීන ලෝකයට ගැළපෙන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම මඟින් ප්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දුන් අතර විශේෂයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් වර්ධනය කිරීම, ජනාධිපති ආණ්ඩු ක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීම සහ එතෙක් හේතු රහිතව සිරගතව සිටි පිරිස නිදහස් කිරීම සඳහා මහජන ආරක්ෂක පනත හඳුන්වාදීම කැපී පෙනුනා.

සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට රාජ්‍ය සුබසාධනය ශක්තිමත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රම මාදිලිය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ. ආර්. ජයවර්ධන මහතා කටයුතු කළ අතර එම ආර්ථික මාදිලිය වූ කලී දකුණු ආසියාවේ නායකයකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම ආර්ථික හැරවුම් ලක්ෂය ලෙස දැක්විය හැකියි.

විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුම් ඇති කර ගැනීමට එජාපය සමත්වූ අතර මෙම තත්ත්වය තුළ බියගම, කොග්ගල හා කටුනායක යන ප‍‍්‍රදේශ යාකරමින් පිහිටුවනු ලැබූ නිදහස් වෙළෙඳ කලාප මඟින් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් හට ආර්ථික ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් යුතුව කටයුතු කිරීමේ අවස්ථාව එජාපය උදාකරන ලදී.

ඩී. එස්. ගේ ගොවි ජනපද ව්‍යාපාරය ජේ. ආර්.ගේ පාලනය තුළ දී මහවැලි ව්‍යාපාරයට පරිවර්තනය කොට යෝධ කෘෂි විප්ලවයක් ඇති කළ යුගය විය.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරුව ශිෂ්ටාචාරයෙන් පසු ඇති කරනු ලැබූ දැවැන්තම වාරිමාර්ග සහ ඉංජිනේරු ශිල්පය පදනම් කරගත් ජලය රැස්කිරීමේ ක්‍රමෝපායයි.

අවුරුදු 30 කින් නිමකිරීමට සැලසුම් කර තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටි කලකින් නිමාකොට කෘෂි කර්මාන්තය, විදුලිබලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග, නව නගර ඇති කිරීම ඇතුළු සමාජ ආර්ථික සුබසිද්ධිය සඳහා ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් ඇති කිරීම මඟින් විප්ලවයක් ඇතිකිරීමට එජාපය සමත් වුණා.

ථෙරවාදී බුදුදහම ආරක්ෂා කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සහ ශාසනයේ උන්නතිය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය ඇතිකිරීම ආදී පියවර රැසක් එජාප රජය මඟින් ගත් අතර සංස්කෘතික උරුමය පදනම් කරගත් පුරාවිද්‍යා ස්ථාන ඇසුරින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම උදෙසා සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කරනු ලැබුවේ ද එජාපයයි.

එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය ස්ථාවර කරමින් ග්‍රාමීය පළාත්වල ආර්ථික ශක්තිය දුර්වල වූ දුප්පත් මව්පියන්ගේ දූ දරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වාදීම නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවූ බව නොරහසක්.

තරුණ කටයුතු අමාත්‍යාංශය ස්ථාපනය කිරීම සහ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම මගින් තරුණ තරුණියන්ගේ නිපුණතා සහ දැනුම වර්ධනය කරගැනීම සඳහා පදනම සකස් කරන ලද අතර තොරතුරු තාක්ෂණය ආරම්භ කිරීම ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්ෂයකට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකියි.

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කාන්තා ශ්‍රමය සඳහා ඉහළ සමාජ වටිනාකමක් ලබාදීමේ අරමුණින් මෙන්ම නැති බැරි පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මැදපෙරදිග ගෘහ සේවාව ඇතිකිරීම එජාපය දුරදිග කල්පනා කරමින් සැලසුම් කළ යෝධ ආර්ථික සංවර්ධන කටයුත්තක් ලෙස සැලකිය හැකියි.

1988 ජනාධිපති මැතිවරණය මඟින් ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාව සංවර්ධන ලෝකයෙහි ඉදිරියට ගෙන යාම සඳහා විශාල වැඩකොටසක් සැලසුම් කිරීමට අවධානය යොමුකළා.

එතුමන් විසින් ආරම්භ කළ ජනසවිය වැඩසටහන දුගී දුප්පත් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නයට ලබාදුන් වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකියි.

ගම්උදාව වැඩසටහන ආරම්භ කිරීම මඟින් ද නිවසක් ඉදිකර ගැනීමට පවා වත්පොහොසත්කමක් නැති අසරණ ජනතාවට මහා අස්වැසිල්ලක් වූ අතර ග්‍රාමීය පළාත්වල ජීවත්වන තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වය ලබාගනිමින් ඔවුන්ගේ නිපුණතා දියුණු කරලීමට ආරම්භ කළ ඇඟලුම් කම්හල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් ගම්බද පළාත්වල නැති බැරි තරුණ තරුණියන්ගේ අතමිට සරුකරන සමාජ සංස්කෘතික පරිසරයක් බිහිකිරීමට සමත් වුණා.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු ජනාධිපතිවරයා ලෙස සහ එජාපයේ නායකයා ලෙස පත්වූයේ ඩී. බී. විජේතුංග මහතායි.

පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙන යමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට ඔහු විශේෂ අවධානය යොමු කරනු ලැබුවා.

1994 දී එජාප නායකයා ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි.

ජාතික සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සමාජගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය කැපී පෙනෙන අතර ඔහුගේ නායකත්වයෙන් 2001 වර්ෂයේ එජාපය ආණ්ඩු බලය දිනාගනු ලැබුවා.

ශ්‍රී ලාංකික අනන්‍යතාව, ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ගොඩනැගීම, නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය ආරක්ෂා කරගනිමින් දුගී දුප්පත් ජනතාවට ඒවා භුක්ති විඳීමට තිබෙන නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කොට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම මඟින් රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකරනු ලැබුවා.

2015 වර්ෂයේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයෙන් 106ක් වූ වැඩිම මන්ත්‍රී ආසන ගණන දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ අතර එහිදී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා.

ලෝකයේ බොහෝ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ මිත්‍ර සබඳතා ගොඩනඟා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ තලයකට ගෙනඒමට ඉන් අනතුරුව සමත්වූ අතර ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය නිෂ්පාදන සඳහා වූ ජී.එස්.පී.+ සහනය ලබාගැනීමටද සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුළ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කෙරෙහි වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති අතර එහිදී චීනය හා ඉන්දියාව ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර රටවල් සමඟ සමබර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම මඟින් විදේශ ප්‍රතිපත්තියට ප්‍රමුඛ අවධානය දීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය ලබාදී තිබෙනවා.

එජාපයේ ප්‍රමුඛ අවධානය යොමුවී ඇත්තේ මෙම ආර්ථික වර්ධන ක්‍රියාවලිය මගින් රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීම පිළිබඳවයි.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, දූෂණ හා මූල්‍ය වංචා පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, තොරතුරු පනත නීතිගත කිරීම කෙරෙහි එජාපය ප්‍රධාන සම්මුතිවාදී ආණ්ඩුව එහිදී වඩාත් අවදානය යොමු කළා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය යටතේ මෙරට සියලු පාසැල් දරුවන් මේවන විට රක්ෂණය කර අවසන් කිරීමට මෙන්ම ‘ ළඟම පාසැල හොඳම පාසැල ‘ ,’13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ‘, වැනි වැදගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ වනවිටත් සමත්ව තිබෙනවා.

72 වන සංවත්සරය සමරන එක්සත් ජාතික පක්ෂයේ පරම අභිලාෂය වී ඇත්තේ සියලුම ජනයාට ප්‍රතිලාභ හිමිවන සංවර්ධිත, ණය බරින් තොර රටක් ගොඩනැගීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 11 =