වනසතුන්ගෙන් වන බෝග හානිය වැළැක්වීමේ වාර්තාවක් මාසයක් තුළ ජනපති වෙත

(කොළඹ, ලංකාපුවත්) –වනසතුන්ගෙන් වන වගා හානිය වළක්වාලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ (04) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහිදී වනසතුන්ගෙන් වන වගා හානිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මේ වනවිට අප රටේ වනසතුන්ගෙන් වන බෝග හානිය ඉහළයමින් තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වන සතුන්ගහනය සීග්‍රයෙන් ඉහළයාමයි. විශේෂයෙන් ආහාරදාමය තුළ සිටින විලෝපිතයින් වඳ වී යාම නිසා බෝගවලට හානි කරවන සතුන් ගේ වැඩිවීම ඉහළ ගොස් තිබේ.

දැනට අප රටේ වනසතුන්ගෙන් වන වගා හානිය ගත් කළ වාර්ෂිකව සියයට 40 ඉක්මවන අතර ඇතැම් ප්‍රදේශවල එම තත්ත්වය සියයට 65 ද ඉක්මවයි. මෑතකදී චීන විශේෂඥයින් පිරිසක් මෙරට කළ සමීක්ෂණයකට අනුව අප රටට වනසතුන්ගෙන් සිදුවන බෝග හානිය නිසා වාර්ෂිකව අප රටට අහිමිවන මුදල රු. බි. 18 ඉක්මවයි.

බෝග හානි සිදු කරන සතුන් අතරින් ප්‍රධානත්වය ගන්නේ වල් ඌරායි. ඊට අමතරව අලියා, රිළව්, වඳුරෝ, ඉත්තෑවෝ හා මොනරුන් මෙන්ම වවුලන්, තාරකා ඉබ්බන්, ඉරිලේණා හා දඩුලේනා ද වේ.

කෙසේ වුවද වනසතුන් විසින් සිදුකරන වගා හානිය වළක්වාලීම සඳහා මෙතෙක් ගත් සියලුම ක්‍රියාමාර්ග ද අසාර්ථකව ඇතැයි කී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතුන් විනාශ කිරීම සඳහා තුවක්කු ලබා දීම ද ඵල රහිතව ඇතැයි කීය.

2017 වසරේ තුවක්කු 15,000ක් නිකුත් කර තිබු අතර පතරොම් ලක්ෂ දෙකක් නිකුත් කර තිබේ. එහෙත් වසරකට ඉන් භාවිතා කර ඇත්තේ පතරොම් 13ක් පමණක් බව ද මෙම සාකච්ඡාවේදී හෙළිවිය.

දැනට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය විසින් වනසතුන් විසින් සිදු කරන වගා හානිය පිළිබඳව විදිමත් ජෛව විද්‍යාත්මක මෙන්ම ශ්‍රී ලංකාවේ සත්ව හානි වැළැක්වීමේ පැරණි ක්‍රම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කරයි. එම කටයුතු මාස දෙකක් තුළ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා මාසයක් තුළ මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් ගරු ජනාධිපතිතුමන්ට බාර දීම සඳහා සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතාට උපදෙස් දුන්නා.

මෙම සාකච්ඡාවට වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 8 =