ඕනෑම අයකුට පෙළපාළි යන්න පුළුවන් – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකිරීමට දිවි හිමියෙන් කැපවූ අපි ගොඩනැඟූ රටතුළ ඕනෑම අයකුට පෙළපාළි යාමට සහ විරෝධතා දැක්වීමට හැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එසේ නමුත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වන සහ රාජ්‍ය දේපළවලට හානිවන ආකාරයෙන් විරෝධතා හා පෙළපාළි ක්‍රියාත්මක වන්නේ නම් ඊට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම සඳහා පසුබට නොවන බව ද ඒ මහතා පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (04) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් හොරුන් රැක ගැනීමට සහ අධිකරණයට බලපෑම් කිරීමේ අරමුණින් සංවිධාන කරන විරෝධතාවය ‘හොරුන්ගේ රස්තියාදුව’ යැයි තමන් හඳුන්වන බවයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් ලක්ෂයේ ශරීර ඇප හතරක් යටතේ නිදහස්ව සිටින නාමල් රාජපක්ෂ මහතා සාක්ෂිකරුවන්ට සහ විමර්ශකයන්ට කිසිඳු ආකාරයකින් වාචිකව හෝ ලිඛිතව බලපෑමක් එල්ලවන කිසිවක් නොකළ යුතු බවට ඇපදීමේ කොන්දේසිවල සඳහන් වන බව ද එසේ වුවද ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සම්බන්ධයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

මෙලෙස අපමත නිදහස්ව සිටින පුද්ගලයන් බිලි පූජාවක් අපේක්ෂාවෙන් සිදුකරන විරෝධතාවලට අප රජය හසුවන්නේ නොමැති බව ද රජය ලවා බිල්ලක් ගැනීමට අපේක්ෂා කළද ඒ සඳහා කිසිඳු ඉඩක් නොමැති බව ද සඳහන් කළ මංගල සමරවීර මහතා ප්‍රජාතන්ත්‍රවාදී රටක විරෝධතා දැක්වීමේ දී යම් යම් නීතිමාලාවන්ට යටත්ව එය සිදුකළ යුතු බව ද පැවැසීය. දස වසරක් රට පාලනය කළ රාජපක්ෂවරු යටතේ නොතිබූ නිදහසක්, අයිතියක් වත්මන් විරෝධතා දක්වන්නන්ට ලබා දී තිබීම සම්බන්ධයෙන් තමා අවංකවම සතුටුවන බව ද එසේ සතුටු වන්නේ දිවිහිමියෙන් එම අයිතිය රැකදීමට කැපවන අයකු නිසා බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ දී අද (5) පැවැත්වීමට නියමිත විරෝධතාවට කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට අයත් ක්‍රීඩාංගණ පහක් ලබානොදීමට කටයුතු කර ඇතැයි ප්‍රචාර ගෙන ගියද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පැවසූ ඇමැතිවරයා ඊජිප්තුවේ හිටපු ඒකාධිපති පාලකයා පලවා හැරීමට එරට සිවිල් සමාජය ඇතුළුව මහජනතාව නැඟී සිටියා සේ මේ රටේ ද විරෝධතාවක් සංවිධාන කරන බව පෙනෙන්නට තිබෙන නමුත් එය එසේ නොව හොරු රැලක් නැවත බලයට ගෙනඒම සඳහා විශේෂ අධිකරණය හමුවේ නඩු විභාගවීමට නියමිත පුද්ගලයන් විසින් සංවිධාන කරන්නක් බවට පැහැදිලි ලෙස පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය. මෙලෙස සංවිධාන කරන විරෝධතාකරුවන් මෙන්ම ඒ සඳහා පැමිණෙන පුද්ගලයන් කොහේ යනවා ද, කොතැනක පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නොදන්නා බව කී ඒ මහතා මෙය හොර රහසේ බලු කපුටු ක්‍රමය ඔස්සේ සංවිධාන කරන්නක් බව ද ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ ජනතාවට අවම වධයක් නොව උපරිම වධයක් දීමට බව ද කීවේය. මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *