මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පවතින ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරය්දී එය පැවැත්වුණි.

මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් හඳුනා ගත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින් සහ අපනයනකරුවන් සඳහා බලපාන ගැටළු මෙන්ම ස්වර්ණාභරණ නිෂ්පාදකයින් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

මේ අතර නව වෙළෙඳපොල අවස්ථා සොයාගැනීම සහ ප්‍රදර්ශන සඳහා සහභාගීවීමේදී ඇතිවන ගැටළු පිළිබඳවත්, රතරන් සඳහා පැනවූ සියයට පහළොවක (15%) ක ආනයන රේගු බද්ධ සහ නව අදායම් බදු පිළිබඳවත්, මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණි.

මීට අමතරව මැණික් ගැරීම සඳහා ඉඩම් නිදහස් කර ගැනීමේදී රාජ්‍ය ආයතන සහ වතු සමාගම් වලින් පැන නැගී තිබෙන ගැටළු,මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී රාජ්‍ය ආයතන වලින් නිර්දේශ ලබා ගැනීමේදී ඇතිවන ගැටළු මෙන්ම ප්‍රමාදයන්,නව බලපත්‍රයක් ලබා ගැනීමේදී අධිකාරියේ නීති රීති ලිහිල් කිරීමට අදාළ අදහස් විමසීම් සහ පතල් කැණීම් කර්මාන්තයේ නියැළෙන කර්මාන්තකරුවන් මුහුණපාන ගැටළු සම්බන්ධවත් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලදි.

මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය ධර්මරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ආර්.ආර් රූපසිංහ,මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.බී සුමනසේකර, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය ප්‍රසාන් ෆ්‍රැන්සිස් යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යංශයේ බදු උපදේශකයින්,වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *