අගමැති – ඉන්දුනීසියා ජනපති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

අද (12) උදෑසන වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී පැවති මේ සාකච්ඡාවේ දී, යුරෝපීය වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් කොටසක් අත්පත් කර ගැනීම සඳහා දෙරට එක්ව පොදු උපාය මාර්ගයක් දියත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරලීමේ අරමුණ ඇතිව දෙරටේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් මගින් කාලරාමු සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට ද, එමඟින් අනාගතයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ පදනම සැකසීමට ද එකඟත්යට පැමිණියේය.

සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සාමුහිකව ගත හැකි පියවර සම්බන්ධයෙන් ද, දෙරටේ හමුදා අතර අන්තර් හුවමාරු ආරක්‍ෂක වැඩසටහන් සංවිධානය කරලීම සම්බන්දයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභ පැතුම් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *