ජනපති එජා මහා මණ්ඩලය ඇමතීම පළමු දිනයේම

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය නායක සමුළුව ඇරඹෙන පළමු දිනයේදීම එනම් ලබන 25 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.

ගතවූ වසර කිහිපය තුළ වත්මන් රජයේ ක්‍රියා පිළිවෙත, රටට බලපා ඇති තත්ත්වයන් මෙන්ම අභියෝග හමුවේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම සමුළුවේදී ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය යොමුකරවීමට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

මෙම සමුළුව අතරතුරදී එක්සත් ජාතින්ගේ නව මහලේකම්වරයා සමඟ මෙන්ම රාජ්‍ය නායකයන් හා විදෙස් නියෝජිතයන් රැසක් සමඟද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට පෙර එනම් 24 වැනිදා පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ගුණසමරු වැඩසටහනට සහභාගි වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ද විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිත වේ.

හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා පිළිබඳ උත්සවයෙන් පසුව අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේ වැඩසටහනකටත් ජනාධිපතිවරයා සහභාගී විමට නියමිත බව මහින්ද සමරසිංහ මහතා සඳහන් කෙළේය.

මෙරට මත් උවදුර මර්දනය කිරිම වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද මෙම වැඩසටහන වෙනුවෙන් ආරාධනා කිරීම යනු ශ්‍රී ලංකාවට මහත් කීර්තියක් ගෙන දෙන්නක් බවත් මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය‍

ඇමැති මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *