බිම් බෝම්බ ඉවත් කිරීමට ජපානයෙන් ආධාර

(කොළඹ, ලංකාපුවත්) –ක්ෂේත්‍ර රැසක ජයග්‍රහණ සමඟින් සංවර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර දේශයක් බවට පත්කිරීමේ අරමුණින් උතුරු පළාතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම සඳහා අමෙරිකානු ඩොලර් 1,249,997 (රුපියල් ලක්ෂ 1,940) ආධාරයක් ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

එළඹෙන 2020 පමණ වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර දේශයක් බවට පත්කිරීමේ අරමුණ ඇතිව මේ ආධාරය ලබාදෙන අතර, ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දී ඊයේ (11) සිදුවිණි. බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන දෙකක් වෙත මේ ආධාරය ජපන් රජය විසින් ලබාදී තිබෙන අතර ඒ අනුව මයින්ස් ඇඩ්වයිසරි ගෘප් (MAG) සහ ශාප් (SHARP) සංවිධාන විසින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මේ සම්බන්ධයෙන් වන ගිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා, ශාප් සංවිධානයේ වැඩසටහන් කළමනාකාර ලුතිනන් කර්නල් වී.එස්.එම් ජයවර්ධන සහ මයින්ස් ඇඩ්වයිසරි ගෘප් සංවිධානයේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකාර රොවිනන් ෆර්ඩිනැඩස් මහත්වරු අත්සන් තැබූහ.

මේ ව්‍යාපෘතිය මඟින් මයින්ස් ඇඩ්වයිසරි ගෘප් සංවිධානය සඳහා ඇමෙරිකානු ඩොලර් 624,997ක මුදලක් ලබාදෙන අතර ශාප් සංවිධානය සඳහා ඇමෙරිකානු ඩොලර් 625,000ක මුදලක් ලබාදෙයි. අවතැන් වූ උතුරේ ජනතාවට නැවත පදිංචි වී තම ජීවිතාවන් ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ඇතිකිරීමේ වැඩපිළිවෙළ මෙමඟින් තවදුරටත් ශක්තිමත් වෙයි.

අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමටත් ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු නැවත ආරම්භ කිරීමටත් මෙන්ම අනෙකුත් ජීවනෝපායන් ශක්තිමත් කිරීම සඳහා ද මූලික අවශ්‍යතාවයක් වන බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ජපාන රජය විශාල වශයෙන් ආධාර කර තිබෙන අතර පසුගිය 2003 වසරේ සිට උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයන් සඳහා ජපානය තම ආධාර සැපයීමේ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 33ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා පෙන්වා දුන්නේ මේ ව්‍යාපෘතිය ඔස්සේ රට අභ්‍යන්තරයේ අවතැන් වූ පුද්ගලයන්ට ජීවත්වීම සඳහා බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ස්ථාපිත කිරීමට හැකිවන අතර නැවත පදිංචිය සඳහා සුදුසු ස්ථාන ඇති කිරීමේ ශ්‍රී ලංකා රජයේ උත්සාහයට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි. ඊට අමතරව උතුරු පළාත බිම් බෝම්බවලින් තොර ආරක්ෂාකාරී ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වීමේ අරමුණින් මේ ආධාරය ශ්‍රී ලංකාවට ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරන බව පැවසූ තානාපතිවරයා ඒ සඳහා තම රජයේ සහාය ලබාදෙන බවද පසුගිය 2003 වසරේ සිට මේ දක්වා කාලය තුළ උතුරු හා නැඟෙනහිර පළාත්හි බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 33ක මූල්‍ය ආධාර ලබාදී තිබෙන බවද සිහිපත් කෙළේය. ඊට අමතරව තවදුරටත් බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වර්ග කිලෝමීටර් 25ක පමණ ප්‍ර දේශයක් පවතින බවට වාර්තා වන බවද ඒ මහතා සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ශාප් සංවිධානයේ වැඩසටහන් කළමනාකාර ලුතිනන් කර්නල් වී.එස්.එම් ජයවර්ධන මහතා සදහන් කළේ 2014 වසරේ දී ස්ථාපිත කළ තම සංවිධානය ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ දෙවැනි දේශීය සංවිධානය බවට පත්ව තිබෙන බවත් මේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සඳහා තෙවැනි වරටත් ජපාන රජයෙන් ලැබුණු සහයෝඟය අගය කරන බවත්ය. ශාප් සංවිධානය උපරිම ශක්ති ප්‍රමාණයෙන් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස අපගේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

මේ අතර මයින්ස් ඇඩ්වයිසරි ගෘප් සංවිධානයේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකාර රොව්නන් ෆර්නෑන්ඩස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා රටවල බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් සහාය ලබාදෙන ජපානය මෙරටට ලබාදුන් ආධාරය සම්බන්ධයෙන් ප්‍රණාමය පිරිනමන බවත් පසුගිය වසර හතරක කාලයේ දී පමණක් තම ආයතනය සහ ජපාන හවුල්කාරිත්වය හරහා බිම්බෝම්බ 10,000 ට අධික ප්‍රමාණයක් බවත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත්ය. කෙසේ වුවද පසුගිය 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ වර්ග කිලෝමීටර් 36ක බිම්බෝම්බ 44,000ක් පමණ තම සංවිධානය විසින් ඉවත්කර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *