අගමැති ආසියාන් සමුළුව අද අමතයි

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථීක සමුළුවට විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) එම සමුළුව ඇමතීමට නියමිතය.

“ආසියාන්” ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් (H.E. Nguyen Xuan Phuc) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කෙරිණි.

හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරුණු “ආසියාන්” ලෝක ආර්ථික සමුළුව සඳහා ආසියාන් සංවිධානය නියෝජනය කරන රටවල නායකයෝ දස දෙනෙක් සහභාගි වූහ. සමුළුවේ විශේෂ ආරාධිතයා වූයේ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා (Hon. Hu Chunhua) මහතා ය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූයේ විශේෂ ආරාධිතයෙකු වශයෙනි.

වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් (H.E. Nguyen Xuan Phuc) මහතා සමුළුව ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Mr. António Guterres) මහතාගේ සුභ පැතුම් පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරනු ලැබීය. ආසියාන් සංවිධානයේ සභාපතිතිවය දරන සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන් (H.E. Lee Hsien Loong), මහතා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් සදහන් කළේ කලාපයක් ලෙස පොදු එකඟතා පදනම් කර ගනිමින් සිව්වන කාර්මික විප්ලවයේ ප්‍රතිලාභ බෙදා හදා ගත යුතු බවය.

ඉන් අනතුරුව “ආසියාන්” ලෝක ආර්ථික සමුළුවේ සාමාජිකත්වය දරණ රටවල නායකයෝ සමුළුව ඇමතූහ.
ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo), පැවසූයේ මිනිස් සම්පත සතු කුසලතා අසීමිත බවය. ඒ කුසලතා පුබුදුවමින් අනාගතය ජය ගැනීමට ක්‍රියා කරලීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මියන්මාර් රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත අවුන්සාන් සුකී මහත්මියගේ දේශනයට ආසියා කලාපයේ සියලූම නායකයින්ගේ සුවිශේෂී අවධානයක් යොමු වූ අතර ආසියා කලාපයේ පසුපස තැනක සිටි මියන්මාරයට මෑත කාලයේ දී ධනාත්මක ප්‍රවණතා පෙන්වමින් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙන බව ඇය සමුළුව අමතමින් සඳහන් කළාය.

කලාපීය සංවර්ධනයේ දී එක් රටක පසුබෑම සියලූම රටවල් කෙරෙහි බලපෑමක් ඇති කරන නිසා සියලූ රටවල් සමාන අයුරින් දියුණුව කරා පිය නැගීමේ අවශ්‍යතාවය ද අවුන්සාන් සුකී මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
මියන්මාරය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් කරා ප්‍රවේශ වෙමින් සිටින බව ද අවුන්සාන් සුකී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo), කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් (H.E. Hun Sen), ලාඕසයේ අග්‍රාමාත්‍ය තොංල්‍යුන් සිස්‍යුලිත් (H.E. Thongloun Sisoulith), තායිලන්තයේ උප අග්‍රාමාත්‍ය ප්‍රජින් ජුන්තොං (Hon. Prajin Juntong) සහ ලෝක ආර්ථික සමුළුවේ විධායක සභාපති මහාචාර්ය ක්ලවුස් ෂ්වැබ් (Prof. Klaus Schwab) යන මහත්වරු ද සමුළුව අමතමින් අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *