යාත්‍රාවක් නැවක ගැටීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයන් 04 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් ජනක ගිනිගේ මහතාගේ උපදෙස් මත පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පවසයි.

පසුගිය 11දා අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය ‘මලිඳු පුතා’ නමැති ධීවර යාත්‍රාවකි.

අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයන් 07දෙනකු සිට තිබේ. අනතුරින් ධීවරයන් දෙදෙනකු අතුරුදන්ව ඇති අතර, එක් ධීවරයකු දිවි බේරාගනු ලැබ තිබේ.

බේරුවල ධීවර වරායෙන් පසුගිය දා (11) සවස ධීවර කටයුතු සඳහා මුහුදු ගිය මිලිඳු පුතා බහුදින ධීවර යාත්‍රාව එදින රෑ රාත්‍රියේ දී ගාලු ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් 60ක් පමණ ඈතින් නැංගුරම්ලා තිබිය දී එම අවස්ථාවේ දී ගමන් කළ නැවක ගැටී අනතුරට පත්වී ඇත. මේ යාත්‍රාවේ ධීවරයන් හත්දෙනකු ගමන් කර ඇති අතර, මොවුන් සියලු දෙනාම බලපිටිය ප්‍රදේශයේ පදිංචි අය වෙති. නැවේ ගැටීමෙන් අනතුරුව අදාළ නෞකාව පලාගොස් ඇති අතර, ධීවර යාත්‍රාව පෙරළී ගොස් තිබේ. පසුව සිද්ධිය වූ ස්ථානය අසලින් ගමන් කළ වෙනත් නෞකාවකින් ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් ගොස් එක් අයෙක් බේරාගෙන ඇති අතර, 4 දෙනකුගේ සිරුරු ද සොයාගෙන ඇත. මේ සිරුරු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාර දී ඇති අතර, අතුරුදන් ඉතිරි දෙදෙනා පිළිබඳ සෙවීම් කටයුතු කරන බව නාවික හමුදාව පවසයි.

යාත්‍රාව පෙරළීමෙන් පසුව එහි සිටි අය යාත්‍රාව යටට සිරවී සිටි අතර, එක් අයෙක් පමණක් යාත්‍රාවේ එල්ලී සිට ඇත. පසුව නාවික හමුදාවෙන් එම පුද්ගලයා බේරා ගන්නා ලද අතර, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් හතර දෙනකුගේ මළ සිරුරු සොයාගත් අතර, ඒවා ගොඩබිම වෙත ගෙන එන ලදී.

මේ අනතුරින් මියගොස් සහ අතුරුදන් වූ අය බලපිටිය, වැලිවත්ත ප්‍රදේශයේ හා බලපිටිය විජේරාම මාවතේ පදිංචි පුද්ගලයෝ වෙති. බලපිටිය, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි තුෂාර සොයිසා, අමිල පුෂ්පකුමාර, කමල් පියසිරි මෙන්ඩිස්. එම්. ඩබ්ලිව් ධනුෂ්ක මධුසංඛ, සනත් කල්හාර වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි අය වෙති. අලවුවගේ සිසිර කුමාර බලපිටිය විජේරාම මාවතේ පදිංචි අයෙකි. සනත් කල්හාර දරු දෙදෙනකුගේ පියෙකු වන අතර, එම්. ඩ්බ්ලිව්. මදු ධනුෂ්ක මදුසංක එක් දරු පියෙකි. අලවුවගේ සිසිර කුමාර ද දෙදරු පියෙකි.

මේ අනතුරින් දිවි බේරා ගෙන ඇති වතුගෙදර හීනටියේ පදිංචි එරන්ද මෙලෙස තම අත්දැකීම ප්‍රකාශ කරන ලදි.

අපි හත්දෙනා බේරුවල ධීවර වරායෙන් එකළොස් වැනි දා හවස මුහුදු යන්න ගියා. එහි දී රෑ දොළහට පමණ අපි බෝට්ටුවේ සිටින විට බෝට්ටුවේ අනිත් අය පිටුපසට ගොස් නිදා ගත්තා. මම බෝට්ටුව පැයක් පමණ පැදවූවා. ඉන් පසුව අපේ ස්කීපර් කල්හාර අයියාට බෝට්ටුව භාර දී මම නිදාගන්න ගියා. ඒ සමඟම වගේ අපේ බෝට්ටුව හැපෙනවා දැනුනා. ඒ එක්කම බෝට්ටුව පෙරළුනා. මම පෙරළුණු බෝට්ටුවේ උදේ 10 වෙනකන් එල්ලී සිටියා. පසුව උදේවරුවේ නාවික හමුදාවේ මහත්වරු පැමිණ මාව බේර ගත්තා. නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් හතර දෙනකුගේ සිරුරු සොයාගත් බව දැන ගත්තා. ඉන්පසු මම ගාල්ල නාවික හමුදා කඳවුරට රැගෙන ආවා. එරන්ද පුෂ්පකුමාර තම අත්දැකීම එලෙස ප්‍රකාශ කරන ලදි.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ගන්නා මල සිරුරු ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී. ජී. එන්. කරුණාතිලක මහතාගේ උපදෙස් පිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන යන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 7 =