ඕමන්ත දුම්රිය අනතුර ගැන ගම්වාසීහු කියති

වවුනියාව ඕමන්ත පණ්ඩිකේත්තිකුලම් ප්‍රදේශයේ ඊයේ (16) උදෑසන 10.30ට පමණ සිදුවූ දුම්රිය අනතුරකින් කුඩා දැරියක ඇතුළු හතර දෙනෙක් මරුමුවට පත් වී තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

යාපනය සිට ඕමන්ත ප්‍රදේශයේ සිටින ඥාති නිවසකට මොටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මේ අනතුරට මුහුණ දී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු හත් දෙනෙක් මෝටර් රථයේ සිට ඇති අතර ඉන් එක් අයෙකු පිටතට පැන ජීවිතය බේරා ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

මියගිය පිරිසේ වයස අවුරුදු 12ක ළමයකු සිටින අතර මේවන තෙක් අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිව තිබේ. මියගිය පිරිසේ දැරිය, එම දැරියගේ මව, මිත්තනිය හා නැන්දා කෙනෙකු ඇතැයි පොලිසිය සැක පල කරයි.

මෝටර් රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා හා තවත් පිරිමි දරුවකු බරපතළ තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර අත. දුම්රියේ ගැටුණු මොටර් රථය මීටර් 300 පමණ දුම්රිය මාර්ගය දිගේ ඇදී ගොස් ඇති අතර මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා හෝ ගේට්ටුකරුවන් නොමැති බව පොලිසිය පවසයි. ඕමන්ත පොලීසිය පැවසූවේ යාපනය සිට මාතර බලා ඉරිදා දිනයට පමණක් ධාවනය වන විශේෂ ශීඝ්‍රගාමී දුම්රියේ කාර් රථයක් ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි.

උදෑසන 10.30ට පමණ මේ අනතුර සිදුව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක මෝටර් රථයක් දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කළ අවස්ථාවේදීය.

මෝටර් රථය පැදවූ තැනැත්තා දුම්රිය පැමිණෙනු දැක නැති අතර ඔහු මෝටර් රථය ඉදිරියට ධාවනය කර වූ අවස්ථාවේදී මේ අනතුර සිදුව තිබේ. කෙටි වෙලාවක් මෝටර් රථය දුම්රිය මාර්ගයේ නැවති තිබූ බවද ඇතැම් විට රථයෙන් බැස දිව ගියේ නම් ජීවිත හානිය වලකා ගැනීමට පවා ඉඩ තිබූ බවද ප්‍රදේශවාසිහු පවසති.

ඕමන්ත ප්‍රදේශවාසීන් පවසන්නේ මේ අනාරක්ෂිත ස්ථානයට ස්ථිර ගේට්ටුකරුවන් සහිත ගේට්ටුවක් ලබා දෙන මෙන් කීප වතාවක්ම දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. මියගිය පුද්ගලයන් සම්බන්ධ මහේත්‍රාත් පරික්ෂණ වවුනියාව රෝහලේ දි සිදුකිරීමට නියමිතය.

මෝටර් රථයෙන් පැන දිවි බේරාගත් අයට කිසිදු තුවාලයක් නොමැති අතර ඔහුද කම්පන තත්වයෙන් සිටීම හේතුවෙන් වවුනියාව රෝහලට ඇතුළත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =