ජාතික ළමාරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර අවසන්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර අවසන් බවත් එය විද්වත් මණ්ඩලයට යොමු කර ඉදිරියේ දී කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ (NCPA) සභාපති එච්. එම්. අබේරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විද්වත් මණ්ඩලය අනිද්දා(19) රැස් වීමට නියමිත බව පවසන අබේරත්න මහතා මේ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ විය යුතු බව කියා සිටි.

ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) ළමා හිංසනය, අපයෝජනය, නොසලකා හැරීම සහ සූරා කෑම ගැනීම වැළැක්වීම සඳහා රට තුළ ඇති පුළුල් රාමුව සඳහා අනුගමනය කළ යුතු මූලික නීති සඳහා කැඳවන සමාජ කතිකාව හෙට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපති විජේරත්න මහතා කියා සිටියේය.

ළමා අපයෝජන වැළැක්වීම හා ළමා අපචාර වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අවසාන අදියර සාකච්ඡාව මේ අනුව අනිද්දා පැවැත්වෙන අතර එහිදී අවශ්‍ය අවසන් සාකච්ඡා සිදු කරන බව ද කියා සිටියේය.

ළමා අපයෝජන වැළැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුග්‍රහය යටතේ දිවයින පුරා ව්‍යාප්ත වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද සභාපතිවරයා පැවැසීය.

ජාතික ළමා රක්ෂක අධිකාරිය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැය විසිහතර තුළම කැපවී කටයුතු කරන බව දන්වා සිටින එහි සභාපතිවරයා 2011 වසරේ සිට මේ දක්වා ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පැය විසිහතරම ක්‍රියාත්මක 1929 දුරකතනය ඔස්සේ පැමිණිලි දුරකතන ඇමැතුම් ලක්ෂ පහක් ලැබී ඇති බවත් ඉන් 64000ක් ශාරීරික හා මානසික ළමා හිංසන සම්බන්ධ පැමිණිලි බවත් කියා සිටි.

වයස අවුරුදු 16ට අඩු ගැබ් ගන්නා දරුවන්ට එම දරු ගැඹ විනාශ කිරීමට හෝ පවත්වාගෙන යාමේ අයිතිය ලබා දීම සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති විය යුතු බව පවසන සභාපතිවරයා වයස අවුරුදු 16 අඩු දරුවන්ගේ විවාහ පොදු නීතිය යටතේ සිදු විය යුතු බව ද කියා සිටී.

මේ රටේ පවතින පොදු නීතියට අනුව අවුරුදු 16ට අඩු දරුවන්ට විවාහ වීමේ බාධා පනවා ඇති බවත් රටේ සිටින අවුරුදු 16ට අඩු සියලු ජාතීන්ට අයත් දරුවන්ගේ විවාහ පොදු නීතිය අනුව සිදුවීම සම්බන්ධයෙන්ද සමාජ කතිකාවක් ඇති විය යුතු බව දන්වා සිටි.

එමෙන්ම අවුරුදු 15ට අඩු දරුවන්ගේ මනස වැඩෙමින් පවතින බැවින් ඔවුන් තරග විභාග සඳහා යොමු නොකිරීමට පොදු කිතාවක් ඇති විය යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා නීති සකස් කිරීම සම්බන්ධයෙන් ද සමාජ කතිකාවක් ආරම්භ කළ යුතු වන බවත් එම දරුවන් විභාග මානසිකත්වයට යොමු කරවීම තුළින් ඔවුන්ගේ මනස විනාශ වී යන බවත් කියා සිටි.

ළමා කාලයේ දී දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රඳවා තබන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා මාර්ගෝපදේශන මාලාවක් දැනටමත් සකස් කර ඇති බව පවසන සභාපතිවරයා මේ අනුව, මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන ගුරුවරුන්ට NCPA විසින් සකස් කරන ලද පුහුණු අත්පොතක් ද මේ වන විට සකස් කර ඇති බව ද කියා සිටි.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ රට පුරා ක්‍රියාත්මක ජාලයක් පවතින බවත් නිලධාරින් විශාල පිරිසක් දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි දිස්ත්‍රික් ළමා නිලධාරින් සිටින බවත් කියා සිටින අතර පැමිණිල්ලක් ලද සැණින් අවස්ථානුකූලව කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථාපිත කර සිටින නිලධාරීන් එම දරුවන්ගේ නිවාසවලටම ගොස් අවශ්‍ය පියවර ගන්නා බවත් කියා සිටි.

මේ අතර ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ ජාත්‍යන්තර කාන්තා හා ළමා අයිතීන් සුරුකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා හෙට(18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *