බස් ගාස්තු වැඩි කිරීම ගැන අවසන් තීන්දුව ගත යුත්තේ ඇමති මණ්ඩලයයි -ප්‍රවාහන ඇමති

(කොළඹ, ලංකාපුවත්) –බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත යුත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳ නිර්ණායක අධ්‍යයනය කර දැනටමත් වාර්තාවක් සකස් කර ගෙන යන බවත් කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු ද යන්න අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ යුතු ව ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ගමනාගමන කොමිසන් සභාව විසින් මේ වාර්තාව සකස් කරන බව ද ඒ මහතා පැවසීය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහල යාමත් සමගම සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය 10% කින් බස් ගාස්තු වැඩිවිය යුතු බවට කර ඇති ඉල්ලීම හා එසේ නොවුණහොත් වර්ජනයකට යාමට ගෙන ඇති තීරණය සම්බන්ධව අදහස් පළ කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

පෞද්ගලික බස් හිමියන්ගේ අදහස් ද සැළකිල්ලට ගෙන ඔවුන් සමග සුහදව සාකච්ඡා කොට මේ ප්‍රශ්නය විසදා ගැනීමේ අදහසින් හෙට (19) පෙරවරු 09.00 ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් හා බස් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සාකච්ඡාවේ දී මතු වන කරුණු ද සැළකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කරන බව ද පැවසූ ඇමැතිවරයා, මේ සම්බන්ධව බස් මගීන්ගේ සංගම් සමග ද සාකච්ඡා කීරීමට නියමිත බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *