රුපියල් කෝටි 35 ක ඖෂධ විනාශයක්

(කොළඹ, ලංකාපුවත්) –2014 වසරේ දී රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ විනාශ කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේ වුවද එය 2017 වසර වන විට එය රුපියල් කෝටි 04 දක්වා අවම කර ගැනීමට හැකිව තිබේ.

ඖෂධ බෙදා හැරිම සහ කළමනාකරණය තවදුරටත් ක්‍රමවත් කිරිමේ අරමුනින් පරිගණක ගත කළ ඖෂධ දත්ත පද්ධතිය පළාත් සභා රෝහල් සදහා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල ඊයේ (17) ආරම්භ විය. එය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන්නකි.

සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍ය 20,000 කට අධික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම් ජාලය විධිමත් කිරිම සදහා නව මෘදුකාංගයක් හදුන්වා දි තිබේ. ඖෂධ හිගයකින් තොරව සැපයීම සදහා මධ්‍යම රජයේ රෝහල්වලට පළමුව මෙම ඖෂධ දත්ත පද්ධතිය හදුන්වා දෙනු ලැබුණි. මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 50 ක සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ගබඩා 26 ක දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරමින් ඖෂධ හිඟයකින් තොරව සැපයුම් සිදුවේ. මෙම වැඩපිළිවෙල පළාත් සභා රෝහල්වලට ව්‍යාප්ත කිරීම යටතේ රෝහල් 400 කට, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 338 කට සහ මධ්‍යම බෙහෙත් ශාලා 600 කට පරිගණක දත්ත පද්ධතිය සම්බන්ධතාවන් සිදුවේ.

මෙ මගින් ඕනෑම රෝහලක ඖෂධ හිඟයක් ඇති වුවහොත් ලඟම පිහිටි රෝහලෙන් එය ලබාගැනීමේ අවස්ථාව රෝහල් අධ්‍යක්ෂවරයාට හිමි වේ. මෙම පරිගණක දත්ත පද්ධතිය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සදහා රුපියල් මිලියන 900 කට ආසන්න මුදලක් වැය වී තිබේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත්වන විට දිනපතා ඖෂධ වර්ග 44 -79 අතර ප්‍රමාණයක හිඟයක් පැවැතුනා. මාධ්‍ය මගින් දිනපතා ඖෂධ හිඟ බව ප්‍රකාශ කෙරුනා. 2014 වසරේ දී පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 35 ක වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ විනාශ කර තිබෙනවා. මීට බලපා ඇත්තේ බෙදාහැරීමේ ජාලය විධිමත් නොවීමයි. ඒ සදහා පරිගණක මෘදුකාංගයක් හදුන්වා දුන්නා. 2016 වසරේ දී මධ්‍යම රජයේ රෝහල් වලට පරිගණක මෘදුකාංගය හදුන්වා දෙමින් ඖෂධ හිඟය මඟහරවා ගත්තා. මෙම වසරේ දී පළාත් සභා රෝහල් දක්වා එය පුළුල් කරනවා. නව මෘදුකාංගය හදුන්වාදීම නිසා 2017 වසරේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශයට පත් කලේ රුපියල් කෝටි 04 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ පමණයි. කල් ඉකුත් වූ ඖෂධ වටිනාකම අවම කර ගැනීමට හැකි වූයේ මෙම මෘදුකාංගය නිසයි. ඖෂධ දත්ත පද්ධතියක් හදුන්වා දෙමින් ඖෂධ බෙදාහැරීමේ ජාලය විධිමත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන තිබෙනවා. එය ව්‍යාපෘතියක් ලෙස ඉදිරියේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනවා. එහෙත් ඇතැම් ඖෂධවේදීන් දේශපාලන හේතූන් මත ඖෂධ හිඟයක් මවා පෑමට උත්සාහ කළ බවට ලැබුනු තොරතුරු මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි විමර්ශනයක් මහරගම අපේක්ෂා රෝහලේ ද සිදු කරනවා. මෙම වැඩපිළිවෙල ලබන වසරේ මැදභාගය වන විට අවසන් කිරීම බලාපොරොත්තුව“ යැයි ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 1 =