ශ්‍රී ලංකාවේ විශාලතම ශීතාගාරය දඹුල්ලට

(කොළඹ, ලංකාපුවත්) –එළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ඊයේ (17) ඉන්දීය රජයේ නියෝජිතයින් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව එළවළු සහ පළතුරු ගබඩා කිරීම සඳහා මෙට්‍රික් ටොන් 5000 ක ශීතාගාර සංකීර්ණයක් දඹුල්ලේ ඉදිකෙරේ. ඉන්දීය රජය විසින් යළි නොගෙවිය යුතු රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් ලෙස පිරිනමනු ලැබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අත්සන් තැබුණු මෙම ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධූ මහතා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙම ශීතාගාර සංකීර්ණය දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි අක්කර 07 ක නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඉදිකරනු ඇත.

කොටස් අටකින් සමන්විත මෙම ශීතාගාර සංකීර්ණය එළවළු සහ පළතුරු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ශීතාගාර සංකීර්ණය වේ එහි ඉදිකිරීම් ලබන මාර්තු වන විට අවසන් කිරීමට නියමිතය.

මේ අවස්ථාවේ දී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“ලංකාවේ පසු අස්වනු නාස්තිය විශාලයි. මේ නිසා, අපේ ගොවීන් මහන්සියෙන් ලබාගන්නා අස්වැන්නෙන් කොටසක් ඔවුන්ටත් පාරිභෝගිකයින්ටත් ප්‍රයෝජනයක් නැතිව නිකම්ම අපතේ යනවා. මෙමගින් පසු අස්වනු නාස්තිය අවම වන නිසා ගොවීන් සහ පාරිභෝගිකයින් යන කණ්ඩායම් දෙකටම මෙයින් ප්‍රතිලාභ ලැබෙනවා. කෘෂි කර්මාන්තය ජාත්‍යන්තර අගය දාමය සමග සම්බන්ධ කිරීම සදහාත් මෙවැනි ව්‍යාපෘති තුළින් අපි උත්සාහ කරනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් ඉන්දීය රජයට මා ස්තූතිවන්ත වෙනවා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *