ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වී ඇති හේතුව අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) –අද ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වී ඇත්තේ ප්‍රතිපත්ති ඇගයීමට ලක් නොකර ණය ලබා ගැනීමේ හේතුවෙන් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ප්‍රතිපත්ති නිරන්තරයෙන් සම්පාදනය වන නමුත් එම ප්‍රතිපත්ති අධීක්ෂණය නොවන බවත් ඒ තුළින් ප්‍රතිලාභ ලැබීම පිළිබඳ ඇගයුමක් සිදු නොවන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ගමන් කිරීමට දුෂ්කර පළාත් වල ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීම, ගුවන් යානා නොපැමිණෙන ගුවන් තොටුපොල ඉදි කිරීම වැනි දේ නිසි ඇගයීමකට ලක් කළේ නම් මේ හානි සිදු නොවන බව පවසන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිසි ඇගයීමක් තුළින් එම කටයුතු සිදු වූයේ නම් ලංකාව ලබා ගෙන ඇති ණය වඩාත් ඵලදායී අංශ වෙත යොමු කළ හැකිව තිබූ බව අවධාරණය කරයි.

අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ඇගැයීම් පිළිබඳ ප්‍රථම ගෝලීය සමුළුව වන EvalColombo2018 හි සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

ජනාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මේ සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රටවල් 70කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *