සැබෑ දේශප්‍රේමීන්ගේ අවශ්‍යතාව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –සැබෑ දේශපේ‍්‍රමියෙක් වූ අනගාරික ධර්මපාලතුමන් වැනි විශිෂ්ට චරිත එදා මෙන්ම අද දවසේ ද හෙට දවසේ ද ජනතාවගේ ප‍්‍රාර්ථනය බව ජනාධිපතිතුමා පවසයි.

දේශපේ‍්‍රමින්ව සිටියත් වගකීම් භාරදුන් විට ඇතැමුන් කටයුතු කරන ආකාරය පිළිබඳ අවබෝධයක් අපට තිබෙන අතර, අනගාරික ධර්මපාලතුමන් වැනි විශිෂ්ට චරිත දේශපේ‍්‍රමිත්වය වෙනුවෙන් එදා නැඟු සැබෑ හඬ අදත් හෙටත් ජනතාවගේ හදවත් තුළ ජීවමාන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවති ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සංවත්සරික ජාතික මහෝත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එදා රට තුළ තිබූ ප‍්‍රශ්න වර්තමානයේ ද එළෙසම පවතින බැවින් අනගාරික ධර්මපාලතුමන් වැනි විශිෂ්ට චරිත සිහිපත් කිරීම, අධ්‍යයනය කිරීම සහ ආදර්ශයට ගැනීම ඉතා වැදගත් බවයි.

ඉතා ඛේදනීය සහ රට පරිහානියට පත්වන සිදුවීම් ඇතිවූ අවස්ථාවල දී සිය මාතෘ භූමිය සහ ජාතියේ අනාගතය වෙනුවෙන් ගොඩනැගුණු චරිත කතා බොහොමයක් අපේ ඉතිහාසයේ තිබෙන අතර එම ආදර්ශයන් සහ දැක්ම පිළිබඳ අනාගත පරපුර වෙත පණිවිඩයක් ගෙන යාම සඳහා, එම චරිත සිහිපත් කිරීම අද දවසේ වගකීම බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
දැහැම් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අනගාරික ධර්මපාලතුමාගේ ආදර්ශය සමාජගත කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙරට නිදහස, බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ පාසල් හා දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ධර්මපාලතුමාගේ ජාතික මෙහෙවර පිළිබඳව වර්තමාන දරුවන් දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙම උලෙළ සඳහා පාසල් සිසුන් විශාල පිරිසක් සහභාගී කරවා ගැනීමට කටයුතු කර තිබීම ද විශේෂත්වයකි.

ජනාධිපතිතුමා විසින් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට මල්දමක් පළඳවා පූජෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *