‘සනීපාරක්ෂක තුවා’ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – කාන්තා ‘සනීපාරක්ෂක තුවා’ (Sanitary Pads) සඳහා පනවා තිබූ සියයට 40කට ආසන්න සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ස්තූතිය පළ කර සිටී.

මේ සම්බන්ධයෙන් ඔවුන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා ‘සනීපාරක්ෂක තුවා’ (Sanitary Pads) සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විශ්වාස කල අතර ඊට සමාජ ජාල තුළ කතිකාවතක් නිර්මාණය වී තිබිම ද අතිශය සාධනීය කාරණයක් බව අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ අදහස විය.

කෙසේ නමුත්, පෙරේදා (18) දිනයේ අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පෙන්වාදුන් මෙම කරුණ සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට අප සංවිධානයේ විශේෂ ස්තූතිය හිමි විය යුතුය.

මෙතරම් කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් අප සංවිධානය අපේක්ෂා නොකළත් අමාත්‍යවරයාගේ මෙම මැදිහත්වීම අනෙක් අමාත්‍යවරුන්ටද ආදර්ශයක් බව ද අප අදහසයි.

එසේම ප්‍රතිපත්තියක් නොමැතිව අයාලේ ගිය රට වර්ථමානයේ ප්‍රතිපත්තියක් සහ දැක්මක් ඇතිව ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සකස්ව තිබීම සාධනීය කරුණක් වන නමුත්, එය තවදුරටත් ජනතාවට බද්ධ විය යුතු බව අපේ විශ්වාසයයි.

බදු සම්බන්ධයෙන් පසුගාමී අදහසක අප සංවිධානය නොමැති අතර පුරවැසියන් රජයෙන් සහන ලබා ගැනීමට නම් නිසි ආකාරයට බදු ගෙවිය යුතු බවත් එය යුතුකමක් බවත් අපේ පිළිගැනිමයි.

එහෙත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැනි අතිශය වැදගත් කාරණා තුළ ඇති ‘සනීපාරක්ෂක තුවා’ වැනි අර්බුධයන් දියුණු ආර්ථික ප්‍රතිපත්තිවලට බාධාවක් නොවන ලෙස විසඳා ගත යුතුව තිබේ.

මෙරට සම්ප්‍රදායික සිවිල් සමාජ හෝ පාරිභෝගික සංවිධාන ස්ථාවරයෙන් අප සංවිධානය වෙනස් මඟක් අනුගමනය කරන්නේ ඒ වෙනුවෙනි.

එසේම අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ලෙස අප අරමුණ වී ඇත්තේ වඩාත් හොඳම දේ ජනතාවට අත්කර දීමට අප මැදිහත් වීම කෙසේ කල යුතු ද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *