අඹු සැමි ජෝඩු 101ක් යාපනයේ දී විවාහ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹු සැමි ජෝඩු 100ක් යානයේ දී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ලක්ෂ දෙකකට වඩා හඳුනාගෙන ඇති බවත් පසුගිය සිකුරාදා (14) සිට සඳුදා (17) දක්වා ගත වූ දින හතරේ දී පමණක් ගැටලු 12,000ක් පමණ විසඳා අවසන් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහන යටතේ දැනටමත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් සාර්ථකව අවසන් කළ හැකි වූ බවයි. සිකුරාදා දිනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, සෙනසුරාදා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, ඉරිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ සඳුදා වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙලෙස නිල මෙහෙවර වැඩසටහන් පවත්වන ලදී. ඉන් පෙර සන්දිලිප්පායි, උඩුවිල්, කරවටි සහ මරුදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසවල නිල මෙහෙවර වැඩසටහන් පවත්වා අවසන් කර තිබිණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ කෝපායි ප්‍රාදේශීය නිල මෙහෙවරට ගැටලු සහිත පුද්ගලයන් 2526ක්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 3285ක්, යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 2202ක් සහ වේලනෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 1629ක් වශයෙන් පුද්ගලයන් 6742ක් පැමිණ ගැටලු 15,418ක් ඉදිරිත් කර තිබෙන බවයි. ඉන් ගැටලු 11,830ක් නිල මෙහෙවර භූමියේ දී ම විසඳා අවසන් කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

නිල මෙහෙවර වැඩසටහන ආරම්භ වීමට පෙපර කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 27,189ක් හඳුනාගෙන තිබිණි. තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 13,371ක් ද, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 9,103ක් සහ වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 4,597ක් ද මෙලෛස කලින් හඳුනාගෙන තිබූ අතර එම ගැටලුවලින් සියයට 80ට වැඩි ප්‍රමාණයක් සඳහා නිල මෙහෙවර වැඩසහටන ආරම්භවීමට පෙර විසඳුම් ලබාදීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිල මෙහෙවර වැඩසටහන පිළිබඳ මෙසේ කීවේය.

”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසහටන පැවැත්වීම ආරම්භ කළේ මේ රටේ බහුතරයක් ජනතාව අතර දශක ගණනාවක් තිස්සේ විසඳාගත නොහැකි ගැටලු තිබෙන නිසා. ඇතැම් ගැටලු විසඳීමට අමාත්‍යාංශ හෝ රජයේ ආයතන කිහිපයක දායකත්වය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ් වගේ ප්‍රශ්න අහිංසක ජනතාවට කොළඹට ඇවිත් ඒක දවසකින් දෙකකින් විසඳාගන්න බැහැ. මේ වෙනුවෙන් ඔවුන්ට කාලයක් කැපකරලා ආවම පොඩි දරුවන්ට කන්න දෙන්න දෙයක් නැතිවෙනවා. මේ බොහෝ අය කුලී වැඩක් කරලා, නැතිනම් දවසේ පඩියට වැඩ කරන අය. ඔවුන් මේ නිසාම තමන්ගේ ප්‍රශ්න සමඟ ජීවත් වෙනවා. රජය තීරණය කළා ගමට ගිහින් ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල සේවාව ඔවුන් අතරට ගෙනියන්න. මේ සඳහා තමයි නිල මෙහෙවර වැඩසටහන ආරම්භ කළේ. ඉතින් ඒයට දැන් විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. අපි පොළොන්නරුව, ගාල්ල, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, කුරුණෑගල මේ විදියට නිල මෙහෙවර සේවාව කළා. දැන් යාපනයේ ජනතාව විශාල උනන්දුවකින් මේ වැසඩහන සමග සම්බන්ධ වෙනවා. ගමට ගිහින් මේ නොවිසඳුණු ප්‍රශ්න විසඳුවාම අපේ කාර්යාලවල තිබෙන තදබදයත් විශාල වශයෙන් අඩු වෙනවා.”

අමාත්‍යවරයා පවසන්නේ සියලුම අමාත්‍යාංශවලින් සහ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවලින් ද ජනතා ප්‍රශ්න විසඳීම සඳහා නිල මෙහෙවර වැඩසටහනට විශාල සහයෝගයක් ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *