ජනපති-හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්ම ගැන විනිවිද පරීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවෙත දැනුම් දී තිබේ.

ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරීක්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා තිබේ. එසේම පරීක්ෂණයන් හි ඊයේ වන තෙක් ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.

මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස පිළිබඳ හඬපට ද මේ වන විට නියම තත්ත්වය විමසා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති බවද නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබුණි.

ඊට අමතරව රහස් පොලීසිය සිද්ධියට සම්බන්ධ බව කියන සියලු පාර්ශ්ව වෙතින් කටඋත්තර ලබා ගැනීම මේ වන විට කරගෙන යන බවද පරීක්ෂණයන් හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ඉහත සිද්ධියට අදාළ පරීක්ෂ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *