දුම්රියේ වන අලින් ගැටීම් වැළැක්වීමට කඩිනම් වැඩ පිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 18 වෙනි දින මඩකලපුව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තෙල් ප්‍රවාහනය කළ දුම්රියට හසුවී අලින් සිව්දෙනෙකු මියයෑමේ ආසන්නතම ඛේදජනක සිදුවීම හේතුපාදක කර ගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් 19 වන දින පස්වරුවේදී පත් කරන ලදී. මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වනුයේ දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩිලන්ත ප්‍රනාන්දු, වනජීවි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) එච්.ඩී.රත්නායක, වනජීවි අමාත්‍යාංශයේ පශු වෛද්‍ය ජී.ඒ.ටී.ප්‍රසාද්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්‍යක්ෂ ආර්.ඒ.සුමනසේන, වනජීවි සත්ත්ව ආරක්ෂක සංගමයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා සහ වනජීවි සංරක්ෂණය උදෙසා තාක්ෂණික විෂය පථය ක්‍රියාත්මක කිරීමේ ස්වේච්ඡා සංවිධායක ඇමරිකාවේ කිංස්ටන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ඉරෝෂ් පෙරේරා යන මහත්වරුන්ය.

මෙම කමිටුව පත්කිරීමෙන් අනතුරුව වන අලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවරයන් කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ,දුම්රිය මාර්ගයේ අලිමංකඩවල සහ දුම්රිය මාර්ගයට ආසන්නව අලින් වැඩිපුර ගැවසෙන ස්ථානවල ඉලෙක්ට්‍රොනික් පරිපථ සවි කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම දුම්රිය මාර්ගයට යටින් අලින්ට මාරුවීම සඳහා ස්ථානත්, අලින් දුම්රිය මාර්ගය හරහා ගමන්ගන්නා ස්ථානවල සුදුසු පරිදි ගුවන් පාලම් ඉදිකිරීමත් තුළින් මෙම ගැටළුව අවම කළ හැකි බව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී ඉරෝෂ් පෙරේරා මහතා විසින් මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික් පරිපථ යොදාගෙන සිදුකළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳව අමාත්‍යවරයාට පැහැදිලි කරන ලදී. මෙම පරිපථ සවි කිරීම තුළින් දුම්රිය ගමන්ගන්නා මාර්ගය ඉදිරියේ අලින් සිටින බවට දුම්රිය රියදුරු දැනුවත් වීමට හැකියාව ලැබීමත්, ඒ තුළින් රියදුරුට දුර සිටම දුම්රිය නවත්වාගැනීමට හැකියාව ලැබීමත් සිදුවේ.

එමෙන්ම ඒ මොහොතේම ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය දැනුවත් වීමද මෙම පරිපථය සවි කිරීම තුළින් සිදුවේ. මෙම පරිපථය මගින් සංඥා නිකුත්වීම නිසා අලින් හටද මාර්ගයෙන් ඉවත්වීමට අවස්ථාව සැලසේ. එම පරිපථය හේතුවෙන් මාර්ගය ඉදිරියේ අලින් නොමැති බවට රියදුරුට දැනගැනීමට හැකියාවද ලැබෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ :

දුම්රියේ වන අලින් ගැටීම නිසා සිදුවන අනතුරු හේතුවෙන් විශාල අලින් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන අතරම දුම්රියටද විශාල ලෙස හානි සිදුවන බවයි. මෙය ජාතික අපරාධයක් බවත්, වන සතුන් සංරක්ෂණය සඳහා අවශ්‍ය සහය ලබාදීම අපගේද යුතුකමක් බවත්ය. එබැවින් මේ පිළිබද විශේෂ අධ්‍යයනක් සිදුකොට මෙම ගැටළුව විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඒ සඳහා සිදු කරනු ලබන ව්‍යාපෘතියට වැයවන ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය කටයුතු තමා විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කොට ලබාදීමට හැකි බවද විද්වත් කමිටුවට පැවසීය. එම නිසා මේ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා විද්වත් කමිටුව වෙත වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − 5 =