වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් සිදු කළ මෙහෙවර ජනපති සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –වකුගඩු රෝග නිවාරණයට රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මෙම රෝගයට ගොදුරුවන්නේ රටේ අහිංසක පොදු ජනතාව බව පැවසූ ජනාධිපතිතුමා රෝගය නිවාරණයට, මර්දනයට සහ වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝගින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ද රජය ඉකුත් වසර තුන හමාර තුළ පුළුල් වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප‍්‍රති ආශ‍්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (21) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 3372 ක් වූ අතර එය 2017 වසරේ 2478 ක් බවට පත්ව ඇති බවත්, 2018 වසරේ මේ වන විට වාර්ෂිකව එක් වන එම රෝගින්ගේ සංඛ්‍යාව 1500 ක පමණ අවම මට්ටමකට පැමිණ ඇති බවත්ය.

තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරඹූ වකුගඩු අරමුදල අද පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව ඇති බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ යටතේ වකුගඩු රෝගින් වෙනුවෙන් පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින බවත් ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටින රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සියලුදෙනා වෙත තම සිය ස්තූතිය පුද කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම රටේ අහිංසක ජනතාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකයෙන් ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීම සඳහා එම සියලුදෙනාගේ සහය ඉදිරියට ද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශවල මහජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මුල්‍ය ප‍්‍රතිපාදන මගින් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශ‍්‍රම දායකත්වය යටතේ මේ වන විට ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 500 ක් ස්ථාපිත කොට ඇත.

අදාළ ජල පද්ධති සඳහා වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් රුපියල් මිලියන 800 ක මුදලක් ආයෝජනය කර ඇති අතර, මෙමගින් නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති පළාත්වල මහජනතාව වෙත දිනකට සුපිරිසිදු පානීය ජලය ලීටර් මිලියන 50 ක් නොමිලේ ලබා දෙනු ලැබේ.

මේ යටතේ ස්ථාපිත කරන ලද 500 වැනි ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මිහින්තලාව, කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති අතර එම ජල පද්ධතිය අද දින දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

මෙම එක් එක් ප‍්‍රති ආශ‍්‍රැතකරණ ජල පද්ධතිවලින් ලීටරය බැගින් ලබාගත් ලීටර් 500 ක ජලය සියක් නමක් වූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උතුම් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීම මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු විය.

අද උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධි පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අනුරාධපුර මිහින්තලාව, කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති 500 වැනි ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධතිය දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස ආගමික වතාවත්වලට එක් විය.

ප‍්‍රතිආශ‍්‍රැතකරණ ජල පද්ධති 500 මගින් ලබාගන්නා ලද පැන් ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි.

ජර්මනියේ බර්ලින් නුවර බෞද්ධ විහාරස්ථානයට වැඩම කරවීමට නියමිත ජය ශ‍්‍රී මහා බෝධි අංකුරය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත මෙහිදී පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා විසින් එම බෝධි අංකුරය ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ වෙත භාරදෙනු ලැබීය.

කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත‍්‍රපති පූජ්‍ය ගල්පාත සුමන නායක ස්වාමින්වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ‍්‍රී විමලධම්ම, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අගනුවර පට්ඨාන ධර්ම සභාවේ සභාපති පූජ්‍ය කොරතොට විස්සභු යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *