තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නවෝත්පාදන යන්හි බුද්ධිමය දේපල අයිතිය තහවුරු කර දීමට සහාය වීම සදහා උපකාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) විසින් මෙම නව උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය (TISC) එම ක්ෂේත්‍රය පිලිබද විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ.

මේ අනුව පරිගණක වැඩසටහන් පරිගණක මෘදුකාංග පරිගණක ක්‍රිඩා ආදී විවිධාකාරයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නවෝත්පාදන සදහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් සහාය ලබා දෙනු ඇත.

මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා යන මහත්ම මහත්මීන් අතර නොබෝදා කොළඹදී සිදුවිය.

එම අවස්ථාවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලාධාරී දමිත් හෙට්ටිහේවා මහතා සදහන් කළේ නව නිපැයුම්කරුවන් මෙන්ම නව ව්‍යසායකයින් දිරිමත් කිරීම සදහා නියෝජිතායතනය විසින් වැඩසටහන් කීහිපයක් මේවන විට ක්‍රියාවට නංවා තිබෙන බවත් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමග එම කටයුතු තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි වන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක මහත්මිය සදහන් කළේ මෙම උපකාරක මධ්‍යස්ථානයට සම්බන්ව සිටින පිරිස් සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ලබා ගත හැකි පරිදි විධිමත් පුහුණුවීම් ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවත් එසේම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබා ගැනීම පිලිබද තොරතුරු මෙරට නවෝත්පාදන ලාභීන්ටද දැන ගැනීමට පහසුකම් සළසන බවත් එමගින් ඔවුන්ටද නිසි දැනුවත් වීමකින් පසු එම කටයුතු කර ගැනීමට පහසුවක් වන බවත් නියෝජිතායතනය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත්ය.

මෙම අවස්ථාවට සහභාගි වු ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා සහ පැසිපික් කාර්යාලයේ උපදේශක ඩේවිඩ් සයිමන් මහතා මෙහිදී සදහන් කළේ මෙවැනි උපකාරක මධ්‍යස්ථාන මේවන විට ලෝකයේ නගර ගම් සිසාරා පිහිටුවා තිබෙන බවත් මෙරට නව නිපැයුම්කරුවන්ටද එම අත්දැකීම් ලබා ගැනීමට මෙය රුකුලක් වන බවත්ය.
ආරාධිත දේශකයෙක් වශයෙන් මෙම අවස්ථාවට එක්වු විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මෙහිදී සදහන් කළේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහහුරුකර ගැනීමට කටයුතු කිරීමෙන් නවෝත්පාදකයින්ට ආර්ථිකමය ප්‍රතිලාබ ලබා ගැනීමට මග සැලසෙනවා සේම එවැනි බුද්ධිමය දායකත්වයන් හරහා ශ්‍රී ලංකා ආර්ථිකයවෙත වටිනාකමක් එක් කිරීමට කාලය එළඹ ඇති බවයි.
මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ස්ථාපිත කර තිබේ.

www.nipo.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ [email protected] ඉමේල් ලිපිනය ඔස්සේ මේ පිලිබද ‍වැඩිදුර විස්තර දැනගත හැකිවේ.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ(තොරතුරු හා විභාග) නලින් ද අතපත්තු මහතාද මෙහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාන්චන තුඩුගල වැඩසටහන් කළමනාකරු සවින්ද්‍ර සමරරත්න ව්‍යාපෘති කළමනාකරු අසංක සුරවීර සහකාර තාක්ෂණික ප්‍රධානී ජයනාත් ලියනගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *